කටුනායක ගුවන්තොටුපලේ පිවිසුමේ හා පිටවීමේ සීමා ලිහිල් කරයි

මැයි 10, 2019

2019 අප්‍රේල් මස 21 වන දින සිට ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂක වැඩපිළිවෙළ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන හා ඉන් පිටත්වන මගින් හට මහත් අපහසුතාවයන්ට පත් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ගුවන් තොටුපොල වෙත වාහන ඇතුළු කිරීම ගුවන් හමුදාව විසින් නවතා දැමීම හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ ඉන් පිටවන මගින් හට සිය ගමන් මලු ඔසවාගෙන සැලකිය යුතු දුරක් පයින් ගමන් කිරීමට සිදුවිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මේ වනවිට ගුවන්තොටුපොල වෙත පැමිණෙන වාහන සඳහා යම්තාක් දුරට මාර්ගයන් විවෘත කරදීම තුලින් තම ගමන් මළු සමග විශාල දුරක් පයින් ගමන් කිරීමට සිදුවූ මගින් හට තරමක් දුරට සහනයක් හිමිවී ඇත. ගුවන්තොටුපොළ ටැක්සි සේවාව ද ක්‍රියාත්මක වන බැවින් මගින් හට සිය වාහන පිටත ගාල් කර එම කුලිරථ සේවාවෙහි සහාය ලබාගෙන ගුවන්තොටුපොල වෙත පැමිණීමේ හැකියාව ඇත. ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ඕනෑම මගියෙකුට වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් ගුවන් තොටුපොල නිලධාරියෙකුගෙන් හෝ ගුවන් හමුදා නිලධාරියෙකුගෙන් විමසිය හැකි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කලේ බ්‍රහස්පතින්දා (මැයි 09) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

පොලීසිය හා ත්‍රිවිධ හමුදාව විසින් ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක වන අතර පාසල් වෙත උපරිම ආරක්‍ෂාව සැපයීම සඳහා පියවර ගෙන තිබේ. මෙම මෙහෙයුම්වලදී ඔවුන්ගේ තරාතිරම සැලකිල්ලට නොගෙන පසුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදුකරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. එවැනි අත්අඩංගුවට ගැනීමක් නොරොච්චෝලේ ප්‍රදේශයේ දී සිදුකර ඇති බවත් එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයෙකු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඔහුගේ කාර්යාලයද සෝදිසියට ලක් කල අතර පරීක්‍ෂණ කටයුතු සඳහා ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ආරක්‍ෂාව පිළිබඳව තහවුරු නොකළ තොරතුරක් ලද පොලිස් නිලධාරියෙකු ඒ පිළිබඳව තම ඉහල නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි. එම තොරතුර පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරිය විසින් යවන ලද අභ්‍යන්තර ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන බව නිරීක්‍ෂණය වී ඇත. එය තහවුරු නොකරන ලද තොරතුරක් වුවද ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ඒ සඳහා අවශ්‍ය ආරක්‍ෂක පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. කාන්තාවක් විසින් එම ලිපියේ ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍ය වෙත එය මුදාහැර ඇත. ඇය බදුල්ල දිස්ත්‍රික්කයේ කනුපැලල්ල දළදාඇල ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර වෙනත් සේවා ස්ථානයක් වෙතින් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත අනුයුක්ත කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වනු ඇත.

කොච්චිකඩේ පල්ලියේ මරාගෙන මැරුණු බෝම්බකරුගේ සොහොයුරෙකු සහ ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

නාවික හමුදාව විසින් කොළඹ ඩියුක් වීදියෙහි සිදුකළ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධී ලෙස සකස්කළ රබර් මුද්‍රා 26 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රාගම නාවික හමුදා මාර්ග බාධකයක දී අණ නොතකා ධාවනය කල යතුරු පැදියක් හේතුවෙන් තුවාල ලැබූ එම මුරපොලෙහි සේවය කල නාවික හමුදා සෙබලෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. මෙහිදී නාවික නිලධාරින් විසින් ඔහු සන්තකයේ තිබු පිහියක් සහ හෙල්මටයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම භාණ්ඩ රාගම පොලිස් ස්ථානයට භාරදී ඇති අතර, ඔවුන් ඒ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි. දැනට පවතින හදිසි අවස්ථා රෙගුලාසි යටතේ එවැනි ක්‍රියාවන් ඉතාමත් බරපතළ ඝනයේ ලා සැලකෙන වරදවල් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා මෙම මාධ්‍ය හමුව අමතමින් පැවසීය.