සම්පූර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 769 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ

ජනවාරී 22, 2021

අද (ජනවාර 22) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 887 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 56,075 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 13 ක් සහ විදේශිකයින් එක් අයෙක් සිටින අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 337 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 136 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 71 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 327 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 22) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 52,180 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 42,821 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (21) දින තවත් PCR පරීක්ෂණ 16,108 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන විදේශ රටවල සිට මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 196 ක් වන අතර ඒ අතුරින් 28 දෙනෙකු කුවේට් සිට, 148 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිට සහ 20 දෙනෙකු ජපානයේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.   

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 769 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 47,983 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,816 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 91 ක් යටතේ පුද්ගලයින් 8,173 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 02 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහළ ගොස් තිබේ.