ආරක්‍ෂක අමාත්‍යාංශ නව ලේකම්වරයා සිය තනතුරෙහි රාජකාරි ආරම්භ කරයි

නොවැම්බර් 20, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වීම් ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අද දින (නොවැම්බර් 20) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී සිය තනතුරෙහි රාජකාරි නිල වශයෙන් ආරම්භ කරන ලදි.

නව ලේකම්වරයා 2019 නොවැම්බර් 19 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගන්නා ලදි.

අමාත්‍යාංශය වෙත පැමිණි නව ලේකම්වරයා වෙත කඳවුරු මුරය පසුකර යාමක් සහ සම්මාන ආචාර පෙලපාලියක් පිළිගන්වා ගෞරවාචාර පුදකරන ලදි. ඉන් අනතුරුව එතුමන් ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ නව කාර්යාලයේදී නිල වශයෙන් සිය ධූරයෙහි රාජකාරින් ආරම්භ කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයන්හි ප්‍රධානින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගී විය.  

ඉන් අනතුරුව ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කෙටි සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ආරක්‍ෂක ලේකම් තුමන් විසින් අමාත්‍යාංශයේ කාර්යක්‍ෂමතාව සහ කීර්තිනාමය ඉහළ නැංවීම සඳහා සියලු දෙනාම එක් කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බව සිය කාර්ය මණ්ඩලය වෙත පවසා සිටින ලදි.

මේජර් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී එම්ෆිල් මහතා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එතුමන් 1981 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැඳී සිය මුලික පුහුණුව දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් ලබා ඇත.

මෙතුමන් මානුෂීය මෙහෙයුම් කාලසීමාවේදී 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී සිදුකල අතර, 2016 සැප්තැම්බර් 4 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යන මොහොතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය (වන්නි) ආඥාපති ලෙස රාජකාරී කරන ලදි. තවද සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් යන තනතුරුද හොබවා ඇත. මීට අමතරව එතුමන් බ්‍රසීලයේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ලෙස රාජ්‍ය තාන්ත්‍රික පත්වීමක්ද දරා ඇත.