ශ්‍රී ලංකාව රජය විසින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට රැගෙන යාමට සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

දෙසැම්බර් 05, 2019

•    ආගමන හා විගමණ පනත යටතේ කිසිදු ශ්‍රීලාංකිකයෙකුට සිය නම, විදේශ ගමන් බලපත්‍රය හෝ පුරවැසිභාවය පිළිබඳ සාක්ෂියක් ලබා නොදී විදේශ ගත විය නොහැක.

•    වින්දිතයාගේ පූර්ණ ආරක්ෂාව සහතික කරයි

•    වීඩියෝ සබැඳියක් හරහා පරීක්ෂා කරන ලද වින්දිතයාගේ සෞඛ්‍ය තත්වය පිළිබද වාර්තාවන් ඉල්ලා සිටී

නාඳුනන පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලා තර්ජනය කළ බව පවසන මෙරට තානාපති කාර්යාල සේවිකාවට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රටින් පිටත් කර යැවීමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් සිදු කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

විදේශ කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ රටේ පවත්නා නීතිය මත - ආගමන හා විගමණ පනතේ විධිවිධාන යටතේ - ශ්‍රීලාංකිකයෙකුට නමක්, විදේශ ගමන් බලපත්‍රයක් හෝ පුරවැසිභාවය පිළිබඳ සාක්ෂියක් ලබා නොදී විදේශ ගත විය නොහැකි බවයි.

"මෙම පුද්ගලයාගේ කිසිදු ප්‍රකාශයක්, නමක් හෝ ජාතික අනන්‍යතාවයක් නොමැතිව සහ මෙම පුද්ගලයා කවුදැයි නොදැන තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි ඇයට රට හැර යාමට ඉඩ දිය නොහැක" යනුවෙන් එතුමන් පැවසීය.

අමාත්‍ය ගුණවර්ධන මහතා පවසන පරිදි අමාත්‍යාංශය මේ වන විටත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට මේ බව දැනුම් දී ඇත.

මෙම සතිය ආරම්භයේදී තානාපති කාර්යාලය විසින් ඇයගේ සෞඛ්‍යය තත්වය පිරිහෙමින් පවතින බව පවසා සිටි අතර අදාළ සේවකයාට සහ ඇයගේ පවුලේ සාමාජිකයින්ට විශේෂ ගිලන්රථ ගුවන් යානයකින් ස්විට්සර්ලන්තයේ රෝහලකට යාමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම සිද්ධියට අදාළ සිදුවීම් මාලාව මගින් අලුතින් තේරී පත් වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ කළ බවයි.

මේ අතර, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ මෙරට සේවිකාවක  පැහැරගෙන යාමේ චෝදනාව සම්බන්ධයෙන් දැනට කරගෙන යනු ලබන විමර්ශනයන්හිදී  ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ලබා ගැනීමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා විසින් ලබාදෙන  ලද තොරතුරු අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රජය කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුත් ස්විට්සර්ලන්ත තානාපතිවරයා විසින් සිදුවීම පිළිබඳ ලබා දුන් බව කියන තොරතුරු සහ සීඅයිඩී විසින් ලබාගත් දුරකථන වාර්තා, ඌබර් කුලී රථ වාර්තා සහ සීසීටීවී දර්ශනයන් අතර බරපතල විෂමතා ඇති බව එතුමන් විසින් පැවසීය.

සැකකාර කාන්තා සේවිකාවට ආරක්ෂාව සහතික කරමින් අමාත්‍ය ගුණවර්ධන මහතා ඇය සහ ඇගේ පවුලේ අයගෙන් ඉල්ලා සිටියේ විමර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොලිසියට ප්‍රකාශ ලබා දෙන ලෙසයි.

නොවැම්බර් 25 වන දින සිදුවූ පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලෙන් අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශනයන්හි ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සදහා විදේශ කටයුතු  අමාත්‍යාංශය විසින් සියලුම තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඊයේ අමාත්‍යාංශය වෙත  කැඳවා තිබුණි.

මෙම සිදුවීම නොවැම්බර් 27 වන දින අමාත්‍යංශයේ අවධානයට ලක් වූ බවත් එදිනම විදේශ කටයුතු අමාත්‍යංශයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සහතික වී ඇත්තේ සියලු රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ අදාළ සියලු ක්‍රියාදාමයන්ට අප එකඟ වන බව පවසා සිටි බව අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පවසා සිටියේ " මෙරට දේශීය වෛද්‍යවරයකු විසින් චූදිතයා පරීක්ෂා කර ඇත්දැයි අපට දන්වා නැති බවත්” ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් චූදිතයා වීඩියෝ සබැඳියක් මගින් වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කර ස්විට්සර්ලන්ත වෛද්‍යවරයකු විසින් වාර්තාවක් ලබා දී ඇති බවයි.

ලේකම් ආර්යසිංහ මහතා පැවසුවේ බර්න්හි ශ්‍රී ලාංකික තානාපතිවරයා රටේ නීතිමය ක්‍රියා පටිපාටිය පිළිබදව පැහැදිලි කර ඇති අතර විමර්ශන කටයුතු ඉදිරියට සිදුකරගෙන ගෙන යාමට නම් පළමුව ප්‍රකාශයක් ලබා දීමට වින්දිතයාට අවසර දෙන ලෙස ස්විට්සර්ලන්ත බලධාරීන් වෙත දන්වා ඇති බවයි.