COVID-19 තර්ජනය මධ්‍යයේ, ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ආරක්ෂක හමුදාවන් දැඩි අවධානයෙන් - ආරක්ෂක ලේකම්

අප්‍රේල් 01, 2020
 
  • ජාතික ආරක්ෂාවට එරෙහි තර්ජනයක් ඇතිවීම වැළැක්වීම සඳහා සියලු බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බව පවසයි.

සමස්ත ලෝකයම COVID-19 භීතියෙන් ගිලී සිටින අතර, වෛරසය පාලනය කිරීම සඳහා ගත හැකි සෑම පූර්වාරක්ෂක පියවරක්ම ගන්නා ශ්‍රී ලංකා රජය, ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් , ත්‍රස්තවාදය සහ අන්තවාදයට එරෙහිව සටන් කිරීමට දැඩි  පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

නීතිය හා සාමය පවත්වා ගන්නා අතරම අධික ලෙස බෝවන වෛරසය පැතිරීම අවම කිරීම, මිනිසුන්ගේ ගමනාගමනයන්  සීමා කිරීම සහ වෙනත් ආරක්ෂක තර්ජන පිළිබඳව දැනුවත් කිරීම සඳහා ආරක්ෂක හමුදා  සහ පොලිස් නිලධාරීන් දිවයින පුරා යොදවා ඇති බව ඔහු පැවසීය.

 

“COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා රජයේ යාන්ත්‍රණයට සහාය දැක්වීමේ වගකීම ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක ආයතනයන් වෙත පැවරී ඇති අතර ඇතිවිය හැකි  වෙනත් ආරක්ෂක තර්ජන පිළිබඳවද ඔවුන් දැඩි අවධානයෙන් පසුවෙනවා.” මිට දින හයකට පෙර ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  අත්අඩංගුවට ගත් මිලියන 12,500 ක වටිනාකමින් යුතු විශාලතම මත්ද්‍රව්‍ය තොගය  ප්‍රදර්ශනය කර තිබු දික්ඕවිට වරාය වෙත පැමිණි ආරක්ෂක ලේකම් පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදා ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුර’ (SLNS SAYURA) විසින් Crystal Methamphetamine හෙවත් අයිස් (ICE)  කිලෝග්‍රෑම් 605.4 ක්, කැටමයින් (Ketamine) කිලෝග්‍රෑම් 579.5 ක්, බාබුල් පැකට් 200 ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය පෙති ග්‍රෑම් 100 ක් ඇතුළු මුළු මත්ද්‍රව්‍ය  කිලෝ 1184.9 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

COVID-19 ට එරෙහිව සටන් කරන අතරම රට ආරක්ෂා කිරීමේ වගකීම රජය විසින් නොසලකා හැර නොමැති බව පැවසීමට හොඳම උදාහරණය ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම විශාල තොගය අත්අඩංගුවට ගැනීම  පෙන්වා දිය හැකි බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

“ජාතික ආරක්ෂාව රජයේ ප්‍රමුඛතාවයයි. මෙරට COVID-19 ආසාදනය වීමේ අවදානමක් පැතිර යන මොහොතක රාජ්‍යක ධජයක් රහිතව, ලියාපදිංචි නොවූ සංවිධානාත්මක ජාවාරම් ජාලයක පාකිස්ථාන  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 9 දෙනෙකු සිටි මෙම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව දකුණු වෙරළට නාවික සැතපුම් 463 ක් (කි.මී. 835) දුරින් තිබියදී හඳුනාගෙන ඇත.

ත්‍රස්තවාදයට හා අන්තවාදයට සම්බන්ධ ඇතැම් අංශ නැවත සංවිධානය වීම ඇතුළුව තවත් ඇති විය හැකි ඕනෑම ආරක්ෂක තර්ජනයකට මුහුණ දීම සඳහා ආරක්ෂක හමුදා බුද්ධි අංශ ඇතුළු සියලු බුද්ධි අංශ දැඩි අවධානයෙන් තබා ඇති බව පැවසූ මේජර් ජෙනරාල් ගුණරත්න ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු නාවික හමුදා සාමාජිකයින් විසින්  දේශීය හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන් අල්ලා ගැනීමට ගත් උත්සාහය හා කැපවීම ඇගයීමට ලක්කරේය.