ගුවන් හමුදා විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම්තුමන් සහභාගී වෙයි

ජනවාරී 12, 2019

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීටයේ පසුගිය සිකුරාදා (ජනවාරි 11) දින පැවති කෙඩෙට් නිලධාරි විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා කෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගි විය. එම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම් තුමන්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

58 වැනි පාටමාලාවට අයත් නිළධාරීන් 27 ක් සහ 10 වැනි කාන්තා පාටමාලාවට අයත් කාන්තා නිලධාරිනියන් 04 දෙනෙකුද ඇතුලත්ව කෙඩෙට් නිලධාරින් 34 දෙනෙකු අධිකාරියට පත් වූ අතර නිත්‍ය ගුවන් භට පාටමාලා අංක 167,නිත්‍ය කාන්තා ගුවන් භට පාටමාලා අංක 37, ස්වේච්ඡා ගුවන් භට පාටමාලා අංක 130, ස්වේච්ඡා කාන්තා ගුවන් භට පාටමාලා අංක 13 සහ ඉඳුරාම බඳවාගැනීම් පාටමාලා අංක 35 ට අයත් ගුවන් භටයින් සහ කාන්තා ගුවන් භටයින් පිරිසක් ද පාටමාලා අවසානයේ විසිර යන ලදී. පාටමාලා අංක 58 හි ගුවන් නියමු පුහුණු පාටමාලාව සාර්ථකව අවසන් කල නිළධාරීන් හට පියාසර නියමු ලාංචනය ද ආරක්‍ෂක ලේකම්තුමන් විසින් පළදවන ලදී.

ත්‍රිවිධ හමුදාවේ සේවය ප්‍රශංසාවට ලක් කරමින් අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම් තුමන් ශ්‍රී ලංකා හමුදාව ලෝකයේ වෙනත් කිසිඳු රටකට දෙවෙනි නොවන බවද පැවසිය. අද දින විසිර යන නිලධාරින් සහ සෙසු නිලන් වන ඔබ සියලු දෙනා ඔබගේ දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන්නේ මානුෂීය මෙහෙයුම් රාශියක් ඉටු කරමින් රටට අද්විතීය සේවයක් ඉටුකළා වු කීර්තිමත්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බව එතුමන් අවධාරණය කළේය.

දශක තුනකට අධික කාලයක් අප මාතෘභූමිය වෙලාගෙන තිබු කුරිරු ත‍්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමූ අප සාමය, සංහිදියාව, සමානාත්මතාව හා විශ්වසනීයත්වය තහවුරු කරමින් රට තුළ, සීඝ‍්‍ර සංවර්ධනයක් ඇරඹීමට සමත්ව තිබෙන බව එතුමන් වැඩිදුරටත් පැවසිය. මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීම පිණිස උපරිම ලෙස ක‍්‍රියාකිරිමටත්,තිරසාර සංවර්ධනයට සක‍්‍රිය ලෙස දායකත්වය සැපයීමටත්,තමන්ට පෙර රට යන උදාර තේමාව යටතේ, ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමටත් ඔබ සැම අධිෂ්ඨාන කර ගත යුතු බව මා මේ අවස්ථාවේ සිහිපත් කරන බවද ඔහු පැවසිය. තම දරුවන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇතුලත් කිරීම පිළිබඳව අලුතෙන් විසිර ගිය ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයින්ගේ දෙමාපියන් වෙත ආරක්‍ෂක ලේකම් තුමන් සිය කෘතඥතාව පළ කළේය.

පුහුණුවේ දී විශිෂ්ට දක්‍ෂතා දැක්වූ නිලධාරීන්ට සහ සෙසු නිලයින්ට ආරක්‍ෂක ලේකම් තුමන් විසින් සම්මාන පිරිනමනු ලැබිය. ඒ අනුව සෑම අතින්ම ඇති ශුර නිලධාරියාට හිමි එයාර් චිෆ් මාර්ෂල් පි එච් මෙන්ඩිස් අනුස්මරණ කුසලානය සහ දක්‍ෂතම නිලධාරියාට හිමි අසිපත නියමු නිලධාරි එස් ඒ ඩි ටි සේනානායක විසින් දිනාගත් අතර දක්‍ෂතම කෙඩෙට් නිලධාරිනියට හිමි ගෲප් කපිතාන් එන් ආර් රහීම් අනුස්මරණ කුසලානය නියමු නිලධාරිනි එම් ටි ඒ ද සිල්වා විසින් දිනාගන්නා ලදී. පුහුණුවීම් තුල දී විවිධ අංශවල විශිෂ්ට දක්‍ෂතා දැක්වූ නිලධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් හට ද සම්මාන ප්‍රදානය කරන ලදී.

මෙහිදී අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ සුදුසුකම් ලත් පියාසර උපදේශකන් (QFI) විසින් ගුවන් කරනම් සංදර්ශනයක් පවත්වන ලදී. තවද ඒ සඳහා වර්ණවත් සරඹ සහ තුර්යවාදක කණ්ඩායම් සංදර්ශනයක් ද, අවි රහිත සටන් සංදර්ශනය ද, පැරෂුට් සංදර්ශනයක් සහ සතුරු කඳවුරකට පහරදීමේ නිදර්ශනය ද පැවැත්විණි.

මෙම අවස්ථාවට පුජ්‍ය පක්‍ෂය, ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරීන්, තානාපති කාර්යාල නිලධාරින්, රාජ්‍ය නිලධාරීන්,සහ විසිර යන නිලධාරින් ගේ සහ දුවන් භටයින්ගේ දෙමාපියන් හා පවුලේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.