එලයන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් COVID-19 රෝග පරීක්ෂා කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට රුපියල් මීලියන 4 ක් වටිනා යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.

අප්‍රේල් 03, 2020

රෝහලේ COVID-19 පරික්ෂා කිරීමේ පහසුකම් සැලසීම සඳහා එලයන්ස් රක්ෂණ ලංකා සමාගම High Performance Real Time Quantitative PCR (RT-qPCR) යන්ත්‍රයක් මිලදී ගැනීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (KDU) රෝහලට මූල්‍ය පරිත්‍යාගයක් කර ඇත.

එලයන්ස් රක්ෂණ ලංකා සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගානී සුබ්‍රමනියම් විසින් යන්ත්‍රය මිලදී ගැනීමට රුපියල් මිලියන 4 ක් සඳහා වන නිළ බැංකු ලිපි ලේඛණ  ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ආරක්ෂක අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණයක් වන යන්ත්‍රය මිලදී ගැනීම සඳහා රෝහලට සමාගම විසින් ලබා දුන් සහයෝගය ආරක්ෂක ලේකම්ගේ ප්‍රසංශාවට ලක් විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල මෙරට තිබෙන ප්‍රධානතම රෝහල් අතුරින් එකකි. COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම රෝහල ද මේ වන විට නම් කර ඇති අතර, කිසිදු වෙනසක් නොමැතිව සමාජයේ ඕනෑම තරතාරමක රෝගීන් ප්‍රතිකාර සඳහා මෙම රෝහලට රැගෙන ආ හැකිය.

කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා පුද්ගලික අංශයද අදාළ  බලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම සහ ඔවුන් වෙත පූර්ණ සහයෝගය ලබා දීම වැදගත් බව සුබ්‍රමනියම් මහතා පැවසීය.

“මෙරට ජනතාවගේ සෞඛ්‍යය තත්වයට සිදුවන බලපෑම අවම කිරීම සහතික කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ අඛණ්ඩ උත්සාහය අපි අගය කරමු. ඔවුන්ගේ උත්සාහයට තවදුරටත් සහාය දැක්වීමට නම් කොරෝනා වෛරසය නිවැරදිව හඳුනාගෙන වෛරසය මැඩලීම සදහා උපකාරී වන නවීන උපකරණ සහ ඒ සදහා විසඳුම් තිබීම අත්‍යවශ්‍ය බව අප විසින් තරයේ විශ්වාස කරන්නෙමු”. ජනතාව ආරක්ෂිතව යහපත් දිවිපෙවතක් ගතකරවිම වෙනුවෙන් ඔවුන් කැපවී සිටින බව KDU රෝහලට COVID-19 පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රය සැපයීමට හැකිවීම ගෝලීය රක්ෂණ සේවා සපයන්නකු ලෙස සමාගමට ගෞරවයක් බව ඔහු පැවසීය.