මුලතිව් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු අවසන්කළ ඉන්දියාවේ සිට පැමිණි බැතිමතුන් 203 දෙනෙකු සිය නිවෙස් බලා පිටත් වෙයි

අප්‍රේල් 06, 2020

මුලතිව් හිදී  දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනය වූ තවත් පිරිසක් අද (අප්‍රේල් 06) දින සිය නිවෙස් බලා පිටත් වූහ.

වන්දනා චාරිකාවක ගොස් සිටි දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් 203 දෙනෙකු මාර්තු 21 සහ 22 යන දෙදින තුළ මෙරටට පැමිණි පසු ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී.

මෙම වන්දනා කණ්ඩායමට බෞද්ධ භික්ෂූන් වහන්සේලා 5 නමක් ඇතුලුව පිරිමි පුද්ගලයින් 56ක්, කාන්තාවන් 147 දෙනෙක් සහ එක් කුඩා දරුවෙකු ඇතුලත් විය. නිරෝධායන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි එම පිරිසට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආහාර, සනීපාරක්ෂක සහ 4G අන්තර්ජාල ඇතුලු සියලු අත්‍යවශ්‍ය පහසුකම් සපයන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔවුන් වෙත නිරෝධායන කාලය සම්පූර්ණ කර සාර්ථකව නිරෝධායනයට ලක්වූ බවට සහතිකයක් ලබා දුන් අතර ඉදිරියට තවත් දින 14 ක් ගතවන තුරු නිවසේ සිට ස්වයං නිරෝධායනය ලක් වන ලෙස වැඩිදුර උපදෙස් ලබා දුන්හ.