COVID-19 වෛරසයට ප්‍රතිජීවක ඖෂධයක් සොයාගන්නා ලෙස රජය ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයින්ගෙන් ඉල්ලා සිටී

අප්‍රේල් 06, 2020

COVID-19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශීය වෛද්‍යවරුන් 60 කට අධික පිරිසක් රැස්වී ආයුර්වේද සහ සිද්ධ ක්‍රමවලට අනුව දිවයින පුරා සියවස් ගණනාවක් පවත්වාගෙන ගිය ‘හෙළ වෙදකම’ තුළින් COVID-19 වසංගතය සුව කිරීම සඳහා විකල්ප සාම්ප්‍රදායික ඖෂධයක් සොයා ගැනීමේ හැකියාව ගවේෂණය කිරීම පිලිබදව සාකච්ඡා සිදු කරන ලදි.

ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද ඉදිරිපත් කිරීමකින් මෙම මාරාන්තික වසංගතයට ප්‍රතිකාර කිරීමේදී දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා කළ හැකි ආකාරය සහ පැරණි දේශීය පිළිවෙත් වල පූර්වාරක්ෂාව, රෝග නිවාරණය සහ පශ්චාත් ප්‍රතිකාර අවධීන් ඇතුළුව වෙනත් ආදේශක හා වැළැක්වීමේ පියවර ආදිය පිලිබදව පැහැදිලි කරන ලදී.

මෙම මාරාන්තික වෛරස් වසංගතයට ස්ථිර වෛද්‍ය විසඳුමක් සෙවීමට එම ප්‍රමුඛ පෙලේ වෛද්‍යවරු ඒකමතිකව එකඟ වූ අතර ඔවුන් විසින් එවැනි පිළිවෙත් නිරවද්‍යතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ හැකි ආකාරයද පෙන්වා දුන්හ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ COVID-19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානීගේ ආරාධනයකට අනුව ඔවුන් මෙම මධ්‍යස්ථානයට පැමිණියහ.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද වෛද්‍ය සභාව සමඟ ඒකාබද්ධව පැවති සාකච්ඡාව සදහා හිටපු යුද්ධ හමුදාධිපති මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක සහ කොව්ඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානීද සහභාගී වූහ.

දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහි ප්‍රධානත්වය දැරීය.

දේශීය වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගැනීමේ පරමාර්ථය පැහැදිලි කරමින් ජෙනරාල් රත්නායක ඖෂධ පිළිබඳ ඇති ඓතිහාසික දේශීය විශේෂඥතාවය පිළිබඳව මෙන්ම රටේ පරම්පරා ගණනාවක් මුතුන් මිත්තන් විසින් දේශීය පැළෑටි මිශ්‍රණ ඖෂධ ලෙස භාවිතා කරමින් මිනිසුන් සුව කළ ආකාරය, කසාය වර්ග මෙන්ම වෙනත් හෙළ ඔසු ක්‍රම පිළිබඳව සිය අදහස් දැක්වීය.

චීනය මේ වන විට සොයාගෙන ඇති ආකාරයට සමාන විකල්ප දේශීය ඖෂධයක් හැකි ඉක්මනින් සොයා ගන්නා ලෙස අමාත්‍ය වන්නිආරච්චි සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් සිල්වා දේශීය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

COVID-19 සුව කිරීමට ඖෂධයක් සොයා ගැනීමට සාර්ථක උත්සාහයක් දරන්නේ නම්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ත්‍රිවිධ හමුදාව එහි නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි සෑම දෙයක්ම සිදු කරන බව යුද හමුදාධිපති ඔවුන්ට සහතික විය.

මෙම සාකච්චාව සඳහා පූජ්‍ය ධම්ම, ධම්මිස්සර හිමියන්, ප්‍රමුඛතම  ආයුර්වේද වෛද්‍යවරු, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් විජිතා සෙනෙවිරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ඩබ්ලිව්.එම් පුෂ්පලතා මැණිකේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී වීරරත්න, පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ ජාතික කමිටුවේ කැඳවුම්කරු, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.