‘සත්විරු අභිමන්’ ජාතික උත්සවය ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

ජුලි 19, 2019

රණවිරු පවුල් සඳහා රුපියල් මිලියන 700 කට වඩා වටිනා නිවාස, ඉඩම් සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව

රට තුළ සාමය හා සමගිය ඇතිකිරීම උදෙසා තම ජීවිතය හා අත් පා කැප කළ රණවිරුවන්ට ජාතියේ කෘතඥතාවය පළ කරයි. සාමය උදාවූ දා සිට ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව රට තුල සංහිදියාව ඇතිකිරීම හා ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ කැපිපෙනෙන කාර්යභාරයක් ඉටු කරයි.

ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම මත ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක බලකායේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහල නංවාලීම සඳහා සුභසාධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සකස් කර ඇත. රණවිරුවන්ගේ පවුල් වල නිවාස ගැටළු සදහා විසඳුම්, ඉඩම් සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීම ඔවුන්ගේ ජීවන තත්වය ඉහල නැංවීම සඳහා සිදු කෙරෙන එක් ප්‍රධාන සුභසාධන වැඩපිළිවෙලකි.

එවැනි එක් දැවැන්ත සුභසාධන ව්‍යාපෘතියක සමාප්තිය සඳුදා (ජූලි 22) දින සවස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ජාතික උත්සවයකදී රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුපියල් මිලියන 700 ක් වටිනා නිවාස, ඉඩම් සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමට නියමිතය.

මෙම ප්‍රතිලාභ මියගිය සහ ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා පිරිනැමේ. නව නිවාස ඉදිකිරීමට හා අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා අරමුදල් සපයනු ලබන්නේ ‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සහ ජාතික ආරක්‍ෂක අරමුදල මගිනි.

2010 වර්ෂයේ සිට මේ දක්වා නව නිවාස 2917 ක් ඉදිකර ඇති අතර 2014 වර්ෂයේ සිට අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස 4487 ක ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකර ඇති සම්පුර්ණ නිවාස ගණන 7404 කි.

සඳුදා (ජූලි 22) දින පැවැත්වෙන ජාතික උත්සවයේදී ප්‍රතිලාභීන් 1504 දෙනෙකුට නිවාස, ඉඩම් සහ අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමේ. මියගිය සහ ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා රුපියල් මිලියන 2.5 ක් වටිනා නිවාස ප්‍රදානය කරනු ලබන අතර මෙම නිවස ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් ශ්‍රමය සපයා ඇත. තවද අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස නිම කිරීම සඳහා තවත් ප්‍රතිලාභීන් 925 කට ආධාර ලබා දෙනු ඇත