පොලිස් ස්ථානවල අනවශ්‍ය පෝලිම් අඩු කිරීම සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සඳහා නව චක්‍රලේඛයක්

අප්‍රේල් 07, 2020

- ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම කාණ්ඩ හතරකින් නිකුත් කෙරේ.
- සේවා හැඳුනුම්පත අනිසි ලෙස භාවිතා කරන අයට එරෙහිව නීතිමය පියවර

පොලිස් ස්ථානවල අනවශ්‍ය පෝලිම් ඇතිවීම අවම කිරීම සඳහා පොලිස් මූලස්ථානය, සෑම පළාතක්ම භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, ප්‍රාදේශීය පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථාන විසින් නව ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරේ, අද (මාර්තු 7) සවස ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයේ මේ බව සඳහන් වේ.

ප්‍රජාවන් අතර COVID -19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අනවශ්‍ය මහජන එක්රැස්වීම් වලක්වාලීමට රජය මීට පෙර දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීය.  

පවුල් හා නිවැසියන්ට අත්‍යවශ්‍ය සැපයුම් වෙනුවෙන් ප්‍රවේශ වීම සඳහා දැඩි අනතුරු ඇඟවීම් සහිතව පැනවූ ඇඳිරි නීතිය වරින් වර ඉවත් කරන ලදි. කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සහ බෙදා හැරීමේ ආයතන සම්බන්ධයෙන් හැරුණු විට දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සීමාකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය   පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශට අනුව, ඇඳිරි නීති බලපත්‍ර ලබාගැනීම සඳහා විශාල පිරිසක් දිගින් දිගටම පොලිස් ස්ථානවල පෝලිම්වල සිටින බවට කරන ලද නිරීක්‍ෂණ මත නව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කරන ලදි.

ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන නව චක්‍රලේඛයේ ප්‍රධාන කරුණු පහත දැක්වේ:

- කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් 50 ක් හෝ වැඩි ගණනක් සිටින ඕනෑම ආයතනයකට පොලිස් මූලස්ථානය වෙතින් ඇඳිරි නීති බලපත්‍ර ලබාදෙනු ඇත.
- ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කාර්ය මණ්ඩල සාමාජිකයින් 50 ක් හෝ වැඩි ගණනක් සිටින ආයතනවලට ඇඳිරි නීති බලපත්‍ර බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබේ.
- වෙනත් පළාත්වල කාර්ය මණ්ඩල සාමාජිකයින් 50 ක් හෝ වැඩි ගණනක් සිටින ආයතනවලට එක් එක් පළාත භාරව සිටින ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පති කාර්යාල මගින් ඇඳිරි නීති බලපත්‍ර ලබාදෙනු ඇත.
- සේවකයින් 10 ක් හෝ ඊට වැඩි හා 50 ට අඩු ආයතනවලට අදාළ කොට්ඨාශවල පොලිස් අධිකාරී කාර්යාල විසින් ඇඳිරි නීති බලපත්‍ර ලබාදෙනු ඇත.
- සෑම පොලිස් ස්ථානයකටම තම ප්‍රදේශවල සේවකයින් 10 ට අඩු සංඛ්‍යාවක් සිටින ආයතනවලට ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ වගකීම පැවරේ. මානුෂීය හේතූන් මත ඕනෑම පුද්ගලයෙකුට බලපත්‍ර නිකුත් කිරීමට ද ඔවුන්ට බලය ඇත.

තවද, ජනාධිපති ලේකම් කාර්යාලයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදියෙහි රාජකාරී නියුතු වූවන්හට ඔවුන්ගේ සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිතා කළ හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk සහ රජයේ අනෙකුත් ප්‍රවෘත්ති වෙබ් අඩවි වලින් ලබා ගත හැකිය.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල චක්‍රලේඛයට අනුව, තම සේවා හැඳුනුම්පත් අනිසි ලෙස භාවිතා කරන අයවළුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගනු ඇත.