ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය COVID -19 සෞඛ්‍ය සේවා අරමුදලට සිය කාර්ය මණ්ඩලයේ දිනක වැටුප පරිත්‍යාග කරයි

අප්‍රේල් 08, 2020

ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය (IEOA) විසින් රට තුළ COVID-19 පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දායක වෙමින් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්‍ෂණ අරමුදල වෙත රුපියල් 547,063.43 ක් පරිත්‍යාග කරනු ලැබීය.

මේ  සඳහා සිය කාර්ය මණ්ඩලයේ දිනක වැටුප පරිත්‍යාග කරන ලද බව ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ කේ ජි ජේ බණ්ඩාර පැවසීය.

මිට අදාළ චෙක්පත අද (අප්‍රේල් 8) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ලබාදෙන ලදි.

වසංගත තත්වය අවම කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සහ පවත්නා අර්බුදකාරී තත්වයන් තුළ අගහිඟකම් ඇති ජනතාවගේ සමාජ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා දියත් කරන ලද රජයේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වූ විශේෂ අරමුදලක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම අරමුදල පිහිටුවන ලදි.

85737373 දරණ ගිණුම් අංකය යටතේ ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ විශේෂ ගිණුමක් විවෘත කර ඇති අතර, දේශීය සහ විදේශීය පරිත්‍යාගශීලීන්ට ද ඔවුන්ගේ මූල්‍ය දායකත්වය මේ සඳහා ලබාදිය හැකිවේ. අරමුදල සඳහා කරනු ලබන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් වන අතර, චෙක්පත් හෝ විදුලි පණිවුඩ මගින් එම අරමුදලට මුදල් පරිත්‍යාග සිදුකළ හැකිය.