ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුල්ලේරියාව රෝහලේ වාට්ටුවල සීසීටීවී පද්ධති ස්ථාපනය කරයි

අප්‍රේල් 09, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ තාක්‍ෂණික කණ්ඩායමක් විසින් නැගෙනහිර කොළඹ මුල්ලෙරියාව මූලික රෝහලෙහි වාට්ටු හතරක මහජන ඇමතුම් කථන පද්ධති සහ Wi-Fi සම්බන්ධිත සීසීටීවී කැමරා පද්ධති ස්ථාපනය කරන ලදි.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් මත සිදුකරන ලද මෙය COVID-19 ආසාදිත රෝගීන්ගෙන් ආරක්‍ෂිතව ඔවුන්ව දුර සිට ආමන්ත්‍රණය කිරීම හා නිරීක්‍ෂණය කිරීම සඳහා රෝහලේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට සහායක් වනු ඇත.

මෙය ස්ථාපනය කරන ලද්දේ රත්මලාන කඳවුරේ ඉලෙක්ට්‍රෝනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අරුණ ජයතිලකගේ නායකත්වයෙන් යුත් තාක්‍ෂණික කණ්ඩායමක් විසිනි.

සීසීටීවී සහ අනෙකුත් පහසුකම් පැය 24 ක් ඇතුළත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය අංශයේ (CBRNE) ගුවන් භටයින් විසින් සම්පූර්ණ කරන ලදි.

මෙම සවිකිරීම් සිදුකරන අතරතුර කාර්මික ශිල්පීන් නිසි ආරක්‍ෂිත ඇඳුම් වලින් සැරසී සිටි බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහතික කළ අතර, සවිකිරීමෙන් පසු කාර්මිකයන් නිසි ලෙස විෂබීජහරණය වූ බවට CBRNE කණ්ඩායම සහතික විය.