COVID-19 ආසාධිත සරණාගතයින්ට මෙරටට අනවසරයෙන් ඇතුළු වීමට ඉඩක් නැත - ශ්‍රී ලංකා නාවික හමුදාපති

අප්‍රේල් 10, 2020

COVID-19 පිළිබද බිය නිසා ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලින් පලා යන පුද්ගලයින් ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙරට  මුහුදු තීරයේ සහ වෙරළ තීරයේ සිය නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසා සිටියේ එවැනි උත්සාහයන් වලක්වා ගැනීම සඳහා නාවික නිරීක්ෂණ සහ අධීක්ෂණය කිරීම් කටයුතු  වැඩි කර ඇති බැවින් එවැනි පුද්ගලයින්හට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවකාශ නොමැති බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සිදුකරන ඒකාබද්ධ නිරීක්ෂණ මෙහෙයුම් වලට අනුව, දිවයින අවට උතුරු, නැගෙනහිර, බටහිර, ඊසානදිග සහ වයඹ ප්‍රදේශවලින් ඔබ්බට වූ මුහුදු සීමාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

වයිස් අද්මිරාල් ද සිල්වා මහතා කියා සිටියේ එවැනි උත්සාහයන් වලක්වාලීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය බලධාරීන්ගේ සහායද  ඉල්ලා ඇති බවයි.

“මුහුද හරහා එවැනි උත්සාහයන් සිදුකරනු දුටුවහොත්, ඔවුන් නැවත ආරක්ෂිතව ඔවුන්ගේ මුල් ගමනාන්ත වෙත ආපසු යැවීම සදහා කටයුතු කරනවා”. ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන සරණාගත බෝට්ටු පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත් එම උත්සාහයන් නිරීක්ෂණය වුවහොත් වහාම ශ්‍රී ලංකා නාවික හමුදාවට  සහ අනෙකුත් අදාළ බලධාරීන්ට දැනුම් දෙන ලෙසත් එම පළාත්වල ප්‍රාදේශීය ධීවර කමිටුවලින් නාවික හමුදාධිපතිවරයා ඉල්ලා සිටියේය.