150,000 කට අධික පිරිසකගේ සහන දීමනා බෙදා හැරීමට යාපනය හමුදා සාමාජිකයින්ගේ සහාය

අප්‍රේල් 11, 2020

COVID-19 පැතිරීම සීමා කිරීම සදහා පනවා තිබෙන ඇදිරි නීතිය හේතුවෙන් යාපනය  අර්ධද්වීපය තුල පීඩාවට පත්ව සිටින 150,000 කට අධික පිරිසකට සහනාධාර බෙදා හැරීම සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට සහය ලබා දී ඇත.

රජයේ ඉල්ලීම වන ‘නිවසේ රැඳී සිටින්න’ යන තේමාවට අනුකූල වෙමින් දුෂ්කරතාවයන්ට පත්වී සිටින තෝරාගත් පුද්ගලයන්, සමෘද්ධි, වකුගඩු රෝගීන් ඇතුළු ආබාධිත සහ වයස්ගත පුද්ගලයින් අතර මෙම සහන මූල්‍යාධාර බෙදා දී ඇත.

ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියළුම සේනාංක,බලසේනාවන්සහ ඒකක වෙත  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස යාපනය ආරක්‍ෂ සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය උපදෙස් ලබා දී තිබේ.

අදාළ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරින් විසින් නිර්දේශ කරනු ලබන සෑම ප්‍රතිලාභියෙකුටම රු. 5,000 ක මූල්‍ය ආධාර මෙම යෝජනා ක්‍රමය යටතේ හිමිවේ.

හමුදා සාමාජිකයින් සහ රජයේ නිලධාරීන් එම ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලට ගොස් එම මූල්‍ය ආධාර ඔවුන් වෙත ලබා දී ඇත.