නාවික හමුදාවට එක්වූ නවතම නෞකාව ගජබාහු ලෙස ජනපති අතින් අධිකාරියට පත්වේ

ජුනි 07, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ලද පී 626 දරන විශාලතම ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව, ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සුරතින් ‘ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු’ ලෙස ඊයේ (ජූනි 06) දින කොළඹ වරායේදී අධිකාරියට පත්කෙරිණි.

කොළඹ වරාය වෙත සපැමිණි ජනාධිපතිතුමන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. නාවීක සම්ප්‍රධායානුකුලව ජනාධිපතිතුමන් හට නාවික හමුදා ජනාධිපති සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන්අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් රෝහිත අබේසිංහ වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලද අතර නෞකාවේ අණදෙන නිලධාරි විසින් එය කියවා ප්‍රකාශයට පත්කරන ලදී.

ඉන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කරන ලද මෙම නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරිණි. ජනාධිපතිතුමන් සමග මෙම අවස්ථාවට සහභාගි වූ ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්තුමන් සහ නාවික හමුදාපතිතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් මෙම නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව එම පිරිස දැනුවත් කරන ලදී.

2018 අගෝස්තු මස 27 වන දින හවායි හි හොනොලුලු වරායේ දී එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බලකාය විසින් මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාරදෙන ලදී. මෙම නෞකාව දිගින් මීටර් 115 ක් ද, පළලින් මීටර් 13 ක් ද වන අතර පැයට මුහුදු සැතපුම් 28 ක වේගයකින් යාත්‍රා කළ හැකිය. මෙහි නැව් මුළුව නිලධාරින් 22 ක් සහ නාවිකයන් 111 කින් සමන්විතය. ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, නවීනතම අවි ආයුධ, සන්නිවේදන උපකරණ සහ වෙනත් මෙහෙයුම් පද්ධති වලින් සමන්විතය. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්‍ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කෙරේ.

ගරුතර මහා සංඝරත්නය, ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා, ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටෙගොඩ මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලීනා ටැප්ලිස් මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ නාවිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.