රුපියල් මිලියන 3,270 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

අප්‍රේල් 11, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් ගැඹුරු මුහුදේ සිදුකරන ලද මෙහෙයුමකදී ඊයේ උදෑසන වටිනාකම රුපියල් මිලියන 3,270 ක් වන හෙරොයින් සහ crystal methamphetamine (අයිස්) තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

දින 14 ක දීර්ඝ නිරීක්ෂණ මෙහෙයුමක යෙදී සිටින අතරදී දිවයිනේ සිට මුහුදු සැතපුම් 548 ක් දුරින් යාත්‍රා කරමින් තිබු ධජයක් නැති හදුනා නොගත් විදේශිය යාත්‍රාවක තිබී හෙරොයින් කි.ග්‍රෑ. 260 ක් සහ අයිස් කි.ග්‍රෑ. 56 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින ඉරාන ජාතිකයන් යැයි විශ්වාස කෙරෙන විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හත් දෙනෙකුද යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

චන්ද්‍රිකා ජායාරූප ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා  බුද්ධි අංශයට ලද තොරතුරු මත පදනම්ව, දිවයිනේ දකුණු ජාත්‍යන්තර මුහුදේ මුර සංචාරයේ යෙදීම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් අවහිර කිරීම සිදු කිරීමේ කාර්ය ගැඹුරු මුහුදු මුර සංචාර යාත්‍රාවන්ට පැවරී ඇත.

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය හඳුනාගත් නාවික හමුදාව මාර්තු 30 වන දින ගැඹුරු මුහුදේ දිගු කාලයක් රැදී සිටිය හැකි මුර සංචාරක යාත්‍රාවක් මෙම කාර්ය ඉටු කර ගැනීම සදහා මෙරටින් පිටත් කර හරින ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  මාර්තු 28 වන දින රුපියල් බිලියන 12.5 කට වඩා වටිනා විශාල මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම වසර තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමේ මෙහෙයුම් මගින් හෙරොයින් කි.ග්‍රෑ 687 ක්, අයිස් කි.ග්‍රෑ 795 ක් සහ කෙටමයින් (ketamine) කි.ග්‍රෑ 579 ක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.