COVID-19 ට එරෙහි සංග්‍රාමයේ පෙරමුණගෙන සේවය කරන සියළු දෙනා හට උපහාර පිණිස නෙළුම් කුළුණ ආලෝකමත් කෙරේ

අප්‍රේල් 11, 2020

COVID -19 ට එරෙහි සටනට නායකත්වය දෙන සියලුම පුද්ගලයින්ට උපහාර දැක්වීම සඳහා කොළඹ නෙළුම් කුළුණ අද (අප්‍රේල් 11) දින සවස 06.45 ට ආලෝකමත් කිරීමට  නියමිතය.

 “COVID-19 ට එරෙහි සටනට නායකත්වය දෙන සෞඛ්‍ය සේවා, සන්නද්ධ හමුදා, පොලීසිය ඇතුළු සහාය දෙන සියලු දෙනා හට ගෞරව සහ උපහාර දැක්වීම සඳහා අද සවස 6.45 ට නෙළුම් කුළුණ දැල්වෙනු ඇත” ජනාධිපති මාධ්‍ය අංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසාසයි.

වසංගතයට එරෙහිව ජාතිය වෙනුවෙන් පරාර්ථකාමී සේවයක නිරත වෙමින් පෙරමුණේ සිටින අය වෙනුවෙන්  ගෞරව සහ උපහාර දැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසා සිටියේ නෙළුම් කුළුණ දැල්වෙන්නේ සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් සහ COVID-19 වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා දියත් කර ඇති රජයේ සටනට සහය දෙන සියලු දෙනා වෙත  කෘතඥතාව, ගෞරවය හා දිරිගැන්වීම සඳහා බවයි.

 “ඔවුන්ගේ පරාර්ථකාමී සේවය අද අපේ රටේ ජීවය සුරකිමින් සිටින අතර ඔවුන් රැකබලා ගැනීම අපගේ යුතුකමයි” විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසීය.