COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා තම නිවසේ සිට පවුලේ සාමාජිකයන් සමඟ නව වසර සමරන ලෙස ජනාධිපති රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටී

අප්‍රේල් 13, 2020
  •     COVID-19 පරාජය කිරීම සඳහා රජය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලා සිටී

ජනතාවට සහ රටට තර්ජනයක් වී තිබෙන COVID-19 වසංගතය පරාජය කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයෙන් රජය සමඟ කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු පණිවුඩයෙන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.

 “සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ වැදගත්කම සෞඛ්‍ය විශේෂඥයින් විසින් අවධාරණය කර ඇති බැවින් මෙවර අපට සාමූහිකව අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වී තිබේ” යනුවෙන් ඔහු සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

සාම්ප්‍රදායික අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ වැදගත්කම සිහිපත් කරමින් ඔහු සමාජීය දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා පවුලේ සාමාජිකයන් සමඟ පමණක් සැමරුම් සිදුකිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

“අලුත් අවුරුදු චාරිත්‍ර ඔබේ නිවෙස්වලට පමණක් සීමාවී ඉටු කිරීමට කටයුතු කරන ලෙස මම ඔබට ආදරයෙන් සිහිපත් කරමි” ජනාධිපති රාජපක්ෂ පවසා ඇත.

 

 

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සම්පුර්ණ අලුත් අවුරුදු පණිවුඩය

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලූ ජනතාවට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ජේදයක් වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමග එළඹෙන අලුත් අවුරුද්ද සංතෘෂ්ටියේත්, සාමූහිකත්වයේත්, අන්‍යොන්‍ය සබඳතා වර්ධනයේත් සමය ලෙස හැඳින්වේ. එසේ වුවද අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝග කාරකයක් අපේ මාතෘ භූමියට ද පිවිසීම නිසා මුතුන් මිත්තන්ගේ සමයෙහි පවා නොඇසූ තරමේ ආපදාවකට අපි දැන් මුහුණ පා සිටිමු.

එහෙයින් සාමූහික උත්සව මෙවර පැවැත්විය නොහැකි වන්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව සෞඛ්‍ය විශේෂඥයන් විසින් දැඩිව අවධාරණය කර ඇති බැවිනි. රටට සහ ජාතියට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ස්වේච්ඡාවෙන් ඒකරාශී වන ජනතාවක් ලෙස මේ උත්සව සමයේදී ද සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් රෝග කාරකය පැතිර යාම වැළැක්වීමට කැපවන මෙන් ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

සොබාදහමේ සුන්දරත්වයෙන් පැහැපත් වන අලුත් අවුරුදු සමය, මිනිසා පරිසරය සහ ස්වභාවධර්මය වන්දනා කිරීමේ උළෙලකි. දැන් අප එළැඹ සිටින්නේ සොබාදහම සමග බද්ධ වීමේ අවශ්‍යතාව වඩාත් දැනෙන මෙහොතකය.

චිරාත් කාලයක් තිස්සේ අප ඉමහත් ගෞරවයෙන් සහ උනන්දුවෙන් ඉටු කළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, විශේෂයෙන් සුභ මොහොතට නිවැසියන් සියලු දෙනා එක්ව ලිප ගිනි මෙලවීම, කිරි ඉතිරවීම, නැකතට ආහාර අනුභවය සහ සාම්ප්‍රදායික ගණුදෙනු ආදිය පවුලේ අය පමණක් එක්ව සිදු කිරීමට මෙවර කටයුතු කිරීම සුදුසුය.

අලුත් අවුරුදු සතුටෙහි සැබෑ හිමිකරුවන් අපේ කුඩා දූ පුතුන්ය. මෙවර අලුත් අවුරුදු සැණකෙලිවලට සීමා පැනවී ඇති නමුදු දරුවන්ට අවුරුදු සතුට භුක්ති විඳීමට අප අවස්ථාව සැලසිය යුතුය. එබැවින්, ඔබ නිවසේ රැඳී සිටිමින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කොට දරුවනට අවුරුදු අසිරිය විඳ ගැනීමට ඉඩ දෙන මෙන් මම සෙනෙහසින් ඔබට සිහිපත් කරමි. ජනතාවත්, රටත් මුහුණපා ඇති වසංගත උවදුර ජයගැනීමට තිර අධිෂ්ඨානයෙන් අත්වැල්බැඳගැනීම අපේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක් කර ගනිමු.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති