උතුරේ හමුදා භට පිරිස් ප්‍රදේශවාසින් සමඟ එක්ව තෛපොංගල් සමරයි

ජනවාරී 18, 2019

උතුරු පළාතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රදේශවාසින් සමඟ එක්ව සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් සමගින් තෛපොංගල් උත්සවය උත්සවාකාරයෙන් සමරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම වැඩසටහන් ප්‍රදේශය පුරා ස්ථාන ගණනාවක සිදු කරනු ලැබීය. ඒ අනුව, තෛපොංගල් උත්සවයට සමගාමීව වඩුක්කොඩෙයි, සංගරාති ප්‍රදේශයේ පිහිටි ශ්‍රී භද්‍රාකාලී කෝවිල් පරිශ්‍රයේ පැවැති උත්සවයකදී යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 100 දෙනෙකු වෙත ලිපිද්‍රව්‍ය සහ පාසල් උපකරණ කට්ටල මෙන්ම ආබාධිත සිවිල් වැසියන් 26 දෙනෙකු වෙත අත්වාරු සහ රෝද පුටු ප්‍රදානය කිරීමක් සිදුකරන ලදී. තවද මෙම අවස්ථාවේ දී ප්‍රදේශවාසින් අතර පොල් පැළ 1000 ක් ද බෙදාදෙන ලදී.

මේ අතර මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශවල භට පිරිස් විසින් ආගමික වතාවත්වලට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම, අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියලි සලාක ලබාදීම, ක්‍රීඩා තරඟ පැවැත්වීම සහ කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන පැවැත්වීම වැනි විවිධ සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. මීට අමතරව, මූලතිව්, පලම්පායි විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් ආර් දුර්හාන් සිසුවා වෙත මූල්‍යමය ශිෂ්‍යත්වයක් සහ පාසල් උපකරණ ප්‍රදානයක් ද සිදුකරන ලදී.

තෛපොංගල් යනු දෙමළ ප්‍රජාව විසින් සමරනු ලබන වැදගත් උත්සවයකි. මෙම උත්සවය පසුගිය් අඟහරුවාදා (ජනවාරි 15) දින සමරනු ලැබීය.