ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කල්තබා ගතහැකි පිසු ආහාර පැකට් (MRE) නිෂ්පාදනය ආරම්භ කරයි

ජනවාරී 19, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන අංශයේ පූර්ණ සහයෝගීත්වය ඇතිව වැලිකන්ද, කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේදී කල්තබා ගතහැකි පිසු ආහාර පැකට් (Meal Ready to Eat (MRE) ration pack) නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම ආහාර පැකට් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්ත ශාලාව සිකුරාදා (ජනවාරි 18) දින වැලිකන්දේදී උත්සවාකාරයෙන් ආරම්භ කර ඇත.

මෙම නව නිෂ්පාදනය විශේෂ බලකා බලසේනාවට අයත් 3 වන විශේෂ බලකායේ භට පිරිස් විසින් ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන අංශය සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂක මණ්ඩලය සමග එක්ව සිදුකරන ලදී. මෙම නව නිර්මාණශීලී නිෂ්පාදනයත් සමඟ රජය විසින් විදේශයෙන් ආහාර පැකට් ආනයනය කිරීම සඳහා වැයවන මුදලින් 60% ක පමණ මුදලක් රජයට ඉතිරිකරදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කන්දකාඩු කෘෂි ගොවිපොලේහි පිහිටා ඇති නව පිසු ආහාර පාර්සල් (MRE) නිෂ්පාදනාගාරය මගින් දිනකට පිසු ආහාර පාර්සල් (MRE) 900 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින අතර, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පා මුර සංචාර, වනබඳ සටන් පුහුණුවීම් ඇතුළු අත්‍යාවශය රාජකාරීන් සඳහා දෛනික ආහාර සැපයීමට මෙන්ම ජාතික ආපදා අවස්ථාවකදී වූවද ආහාර සැපයීම සඳහා මෙම නිෂ්පාදන ප්‍රමාණවත් වනු ඇත.

මෙහිදි කල්තබා ගතහැකි බත්, කඩල, රටකජු, මාළු, සෝයා, මස් සහ එළවළු නිෂ්පාදනය කරනු ලබන අතර එම ආහාර නිෂ්පාදන ප්‍රභේදයන් පීඩනයන්ට ලක් කිරීමෙන් පසුව විෂබිජහරණය කර වැකුම් ඇසුරුම් යොදාගනීමින් කාණ්ඩ තුනක් යටතේ ඇසුරුම් කරයි. (උදෑසන ආහාරය සඳහා ග්‍රෑම් 220 ක්, දහවල් ආහාරය සඳහා ග්‍රෑම් 400 ක්, රාත්‍රි ආහාරය සඳහා ග්‍රෑම් 400 ක්)

මෙම කර්මාන්තශාලාව සඳහා රුපියල් මිලියන 4 ක් වටිනා නව යන්ත්‍රෝපකරණවලින් සමන්විත වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරීයෙකු සමගින් යුද්ධ හමුදා ගත පදනම මත බඳවාගත් සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් වයඹ විශ්ව විද්‍යාලයෙන් පුහුණුව ලබා මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායකත්වය සපයයි. තවද මෙම නිෂ්පාදනාගාරය වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කිරීම තුලින් එම ප්‍රදේශයේ රැකියා විරහිත ග්‍රාමීය තරුණ තරුණයින් සඳහා රැකියා අවස්ථා ලබා දීමට අපේක්ෂා කෙරේ.

මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී විය.