ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් බලපෑම අවම කිරීම සඳහා ආරක්ෂක හමුදාවන්හි කඩිනම් මැදිහත්වීම් ඉවහල් වුනා - ආරක්ෂක ලේකම්

අප්‍රේල් 17, 2020

“කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගියෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කිරීමෙන් පසුව සමස්ත ප්‍රතිකාර ක්‍රියාවලියම අවසන් වන බව ජනතාව උපකල්පනය කරනවා. නමුත් සම්පූර්ණ විමර්ශනයන් ආරම්භ වන්නේ ආරක්ෂක හමුදා බුද්ධි අංශ ඇතුළු අනෙකුත් බුද්ධි අංශ  මැදිහත් වීමෙන්. මෙම නිලධාරීන් පසුගිය සති කිහිපය තුළ නිදිවර්ජිතව කොරොනා වෛරසය ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්, ඔවුන් සිටින ස්ථානයන්  සහ නිරෝධායනය මගහරින අය සොයා ගැනීමට කටයුතු කළා”
  • සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන්ට අනුව, පවතින ඇඳිරි නීතිය ලිහිල් කෙරේ.
  • අත්‍යවශ්‍ය සේවාවන්හි අඩුපාඩු නිවැරදි කරයි.
  • කොරෝනා වෛරසය ආසාදිත සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පැවැත්වුවන් සොයා ගැනීමට බුද්ධි අංශ විසින් දක්වන සහයෝගය අගය කරයි.
  •  ආරක්ෂක හමුදා බුද්ධි අංශ විසින් කොරෝනා වෛරසය ආසාදිත  රෝගීන්ගේ දුරකථන අංක ලබා ගනු ලබන්නේ ඔවුන් සම්බන්ධතා පැවැත්වූ අන් අය හා ඔවුන් සිටින ස්ථානයන් සොයා ගැනීම සදහා පමණක් බව පවසයි.
  • ආසාදිත රෝගීන්ගෙන් බහුතරයක් කොරෝනා වෛරසයට ගොදුරු වූ රටවල සිට මෙරටට පැමිණි අයයි.
  • කටකතා පතුරන්නන්ට නීත්‍යානුකූලව දඩුවම් කරනු ලැබේ.
  • කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු ජනතාව  සඳහා විවෘතයි
  • වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සැඟවී නොසිට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති බවට සැක සහිත නම් දැනුවත් කරන ලෙස සහ සෑම විටම තම පවුලේ සාමාජිකයන් සමඟ ගෘහස්ථව සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ බුද්ධි අංශවල සහාය ඇතිව හමුදාව සහ පොලීසිය විසින් කරන ලද ක්ෂණික මැදිහත්වීම්, අනෙකුත් රටවලට සාපේක්ෂව කොරෝනා වෛරසයේ බලපෑම අඩු කිරීමට සමත් වූ අතර, එමගින් අඩු මරණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුල සිදු වූ බවයි.

නව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ දායකත්වය රෝග සම්බන්ධ විපත් අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින් සමඟ රටේ හමුදාව කෙතරම් ඵලදායී ලෙස යොදා ගත හැකිද යන්න පිළිබඳව වෙනත් ජාතීන්ට හොඳ ආදර්ශයක් සපයනු ඇති බව ඔහු පැවසීය.

defence.lk සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙන තත්වයක් තුළ ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට හමුදාව සහ පොලිස් නිලධාරීන් දායක වන බවයි.

“මෙය මුළුමනින්ම වෙනස් ආකාරයේ සටනක් වන අතර ගෝලීය ආපදාවක් වන කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට හමුදාව ඉදිරිපත් වී ඇත. නිසි ලෙස සටන් නොකළහොත් මුළු ජාතියම විනාශ කිරීමට සමත් කොරෝනා වෛරසය  සමඟ සටන් කිරීමට හමුදාවට සිදු වේ.” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ රජය විසින් කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහාත්, දිගු කාලීන පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීමටත් සංවිධානාත්මක උපාය මාර්ග සකස් කර ඇති බව ඔහු පැවසීය.

සම්මුඛ පරීක්ෂණයේ උපුටා දැක්වීම් පහත දැක්වේ

ප්‍ර. COVID-19 සමඟ සටන් කිරීමට හමුදාව ක්‍රියාකාරීව දායක වෙනවා . ඔවුන්ගේ  දායකත්වය ඔබ තක්සේරු කරන්නේ කෙසේද?

පි. එය මුළුමනින්ම වෙනස් සටනක් වනවා  විපතක් විය හැකි  කොරෝනා වෛරස්  වසංගතයට එරෙහිව සටන් කිරීමට හමුදාව පියවර ගෙන තිබෙනවා. නිසි ලෙස ක්‍රියා නොකළහොත් මුළු ජාතියම විනාශ කරන සතුරා සමඟ සටන් කිරීමට හමුදාවට සිදු වේ. එබැවින් ත්‍රස්තවාදීන්ගෙන්, වසංගතයකින් හෝ ස්වාභාවික විපත් වලින් එල්ල වන ප්‍රහාර  හෝ තර්ජන සදහා රට තුල  ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදාවට විශාල වගකීමක් පැවරෙනවා.

එසේම, වසංගතයකදී පවා ජාතික ආරක්ෂාව සහතික කිරීම හමුදාවට පැවරෙනවා. ජාතික ආරක්ෂාව සහතික කරන අතරම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා, ආරක්ෂක හා සෞඛ්‍ය අංශ එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ  වන යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වෙනවා.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇතුළු අනෙකුත් සියලුම අමාත්‍යාංශ එක්ව වසංගතය පාලනය කිරීම සඳහා කටයුතු කරනවා. හමුදාව හා පොලීසිය විසින් කරන ලද ක්ෂණික මැදිහත්වීමත් සමඟ අනෙකුත් රටවලට සාපේක්ෂව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්  ශ්‍රී ලංකාව තුළ ඉතා අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

ප්‍ර. කෙසේ වෙතත්, සමහර පාර්ශවයන් කියා සිටින්නේ නිරෝධායනය සඳහා අපට කලින් සැලසුම් තිබුනේ නම්   තත්වය වඩා හොඳින් කළමනාකරණය කර ගත හැකිව තිබූ බවයි. අදාළ බලධාරීන් එය මුල් අවධියේදී සැහැල්ලුවට ගත් බවට ඔබ එකඟද?

පි. මම එවැනි චෝදනා ප්‍රතික්ෂේප කරනවා. රජයක් සිදු කරන සෑම දෙයක්ම පුරුද්දක් ලෙස විවේචනය කරන මිනිසුන් සිටිනවා ඵලදායී ලෙස ප්‍රතිපල  ලබා දීම සඳහා අප දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන අතරතුර ඔවුන් සුළු වැරැද්දක් පෙන්වා දෙනවා.

ආරම්භයේ දී , චීනයේ වුහාන් සිට පළමු සිසුන් කණ්ඩායම මෙරටට පැමිණි විට අපි අපගේ වගකීම භාර ගත්තා. අපි රටේ පළමු නිරෝධායන මධ්‍යස්ථානය දියතලාව හමුදා රෝහලේ පිහිටුවීම සිදු කරනු ලැබුවා.

එහෙත්, ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට ආපසු පැමිණි අය සඳහා නිරෝධායනය ආරම්භ කරන ලෙස අපට රජයෙන් මූලික නියෝග ලැබුණු විට, අපට එම කාර්යය සදහා   ස්ථානයක් තිබුනේ නෑ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් යුද හමුදාව වැඩි වගකීමක් දරමින් නිරෝධායන මධ්‍යස්ථාන සදහා වූ  අවශ්‍යතාවය සපුරාලමින්   නිරෝධායන මධ්‍යස්ථාන පිහිවුවීය. එබැවින් ගෝලීය වශයෙන් වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ බරපතලකම  අවබෝධ කර ගැනීමෙන් පසුව අපි නිරෝධායන ක්‍රියාවලිය මාර්තු 10 සිට ආරම්භ කළා. අපගේ ප්‍රධාන අවධානය යොමු වූයේ වෛරසයට ගොදුරු වූ එම රටවලින් ආපසු පැමිණි අය සෘජුවම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීම සදහායි.

කෙසේ වෙතත්, අප හට අභියෝගයක් වුයේ ආපසු පැමිණි බොහෝ දෙනෙක් රට තුළ තමන්ට ලැබූ කෙටි කාලය තුළ තම පවුලේ අය සමඟ සිටීමට අවශ්‍ය වූ නිසා  නිරෝධායනයට නොපැමිණියා. එම නිසා, නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් වීමට ඔවුන් පසුබට වූයේ වෛරසයේ මාරාන්තික බව ඔවුන් නොදැන සිටි නිසායි.

ප්‍ර. යුද හමුදාපතිට අනුව, 19,000 කට අධික පිරිසක්‌ ‘නිවාසයන්හි නිරෝධායනය’ සඳහා යොමු කර ඇත. ඔවුන් නිවෙස්වල නිරෝධායනයකට භාජනය වී ඇත්දැයි සොයා බැලීමට හමුදා බුද්ධි අංශවල සහාය ලබා ගැනීමට ඔබ අදහස් කරනවාද?

පි. කොරෝනා වෛරස් අසාදිත රෝගියෙකු බෝවන රෝග රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සමස්ත ප්‍රතිකාර ක්‍රියාවලියම අවසන් වන බව ජනතාව උපකල්පනය කරනවා. එහෙත් සම්පූර්ණ විමර්ශනය ආරම්භ වන්නේ හමුදා  බුද්ධි අංශ ඇතුළු අනෙකුත් බුද්ධි අංශවල මැදිහත් වීමෙන්. මෙම නිලධාරීන් පසුගිය සති කිහිපය තුළ නිදි නැතිව රාත්‍රින් ගත කරමින් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින්, ඔවුන් සිටින ස්ථාන සහ නිරෝධායනය මගහරින අය සොයා මෙහෙයුම් සිදු කළා.

රෝගීන්ගේ සියලුම ජංගම දුරකථන සම්බන්ධතා අදාළ සේවා සපයන්නන්ගෙන් සහ ඔවුන් අවසන් වරට සංචාරය කළ ස්ථානවල තොරතුරු බුද්ධි අංශ නිලධාරීන්  හට ලැබෙනවා.

ප්‍ර. නමුත් සමහරු තම ජංගම දුරකථන තොරතුරු සොයාගත් විට ඔවුන්ගේ පෞද්ගලිකත්වය අනතුරේ යැයි කියා හමුදාවට චෝදනා කරති.

පි. මෙහිදී, මුළු රටම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂාව වැදගත් වෙනවා. අප මෙය කරන්නේ කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින් හා තවමත් නිරෝධායනය මගහරින අය සමඟ සමීප සම්බන්ධතා ඇති පුද්ගලයින් සොයා ගැනීමට සදහායි.

හොඳම උදාහරණය වන්නේ ජා-ඇල සහ බේරුවල ප්‍රදේශ වලින් සොයාගත් කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්. ආසාදිත පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා ඇති අය සොයා ගැනීම සඳහා යුද , නාවික සහ පොලීසිය ඇතුළු අපගේ බුද්ධි අංශ කටයුතු කරනවා. අප ඔවුන් සොයාගත් විට, ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනය කරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා, ඔවුන්ගේ තොරතුරු ප්‍රාදේශීය පොලිස් බලධාරීන්ට දන්වා ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සමඟ එම නිවෙස්වලට ගොස් සෞඛ්‍ය උපදෙස් ලබා දී අනතුරු ඇඟවීමක් කරන ස්ටිකරයක් අලවා එම ප්‍රදේශයේ කොරොන වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා දින 14 ක් ඔවුන්ව හුදකලා කෙරෙන බව  ප්‍රදේශයේ පදිංචිකරුවන්ට දැනුම් දෙනවා.

ප්‍ර. ආරම්භයේදීම කොරෝනා  වෛරසයට  ගොදුරු වූ රටවල සිට මෙරටට පැමිණි අය කලහකාරී ප්‍රතිචාරය දැක්වූ අතර ඔවුන් නිරෝධායන ක්‍රියාවලිය මග හැර සිටීමටද උත්සාහ කළා,මේ වන විට තත්වය කෙසේද ?

පි. ඔව්, නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ ආරම්භයේ දී ඔවුන් තුල  මුළුමනින්ම වෙනස් ප්‍රතිරූපයක් තිබු බව මම පිලිගන්නවා.කොරෝනා වෛරස් තර්ජනයට මුහුණ දීම සඳහා රජය තවමත් කටයුතු කරන බැවින්, මාර්තු 1 දින සිට 10 දින දක්වා කාලය තුළ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය වැනි කොරෝනා වෛරසය නිසා බලපෑමට ලක් වූ රටවල සිට මෙරටට පැමිණි අය ගැන අපට වැඩි අවධානයක් යොමු කිරීමට නොහැකි විය. නිරෝධායන ක්‍රියාවලියට ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍ය මගින් නිවේදනය කර 119 අමතා විස්තර ලබාදී ඔවුන් නිරෝධායනය සඳහා ලියාපදිංචි වීමට අවසාන දිනයක් ලබා දුන්නා.

22,000 කට අධික පිරිසකගේ තොරතුරු අපට ලැබී ඇති අතර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම තොරතුරු ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත යැව්වා. සිය නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයින් පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් පරික්ෂා කරනවා. මේ අයුරින් අප විසින් වෛරසය වේගයෙන් පැතිරීම පාලනය කිරීම සඳහා ක්ෂණික පියවර ගනු ලැබුවා.

අප හට කොරෝනා වෛරසය අවම කිරීමේ නිසි සැලැස්මක් නොමැති බව පවසමින් රජයට එරෙහිව නගා ඇති සමහර චෝදනා පිළිබඳව අපි දන්නවා. අපට නිසි ක්‍රමවේදයක් නොතිබුනේ නම්, මේ වන විට එයින් සිදු වන  බලපෑම ඉතාලියට සමාන වෙනවා. අද වන විට පවතින තත්වය පිලිබදව සසඳන විට අප ක්‍රියාත්මක කළ ක්‍රමවේදය සාර්ථක බව ඔප්පු වී තිබෙනවා.

වෛරසය ආසාදිත වූ බොහෝදෙනා කොරොන වෛරසයට ගොදුරු වූ රටවල සිට මෙරටට පැමිණි අයයි. නමුත් පසුව මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රමය යටතේ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි පසු එහි රෝග ලක්ෂණ හෙළි කළ අතර එම නිසා ඔවුන් වෛද්‍ය උපදෙස් හෝ නිරෝධායනය සඳහා කෙලින්ම යොමු කරවීමට හැකි වුනා. අටළුගම සිදුවීම එක් උදාහරණයක්  තම රෝගී තත්වය පිලිබදව අනාවරණය නොකර සැඟවී සිටි  පුද්ගලයෙකු නිසා සිදු වූ ව්‍යසනකාරී තත්වය නිසා නිවාස 26 ක් සහ 176 දෙනෙකුගෙන් යුත් ගම්මානය  මුළුමනින්ම වසා දැමීමට හේතු වුනා.

මියගිය තවත් අයෙකු රෝහල් දෙකකට ඇතුලත් වී තිබීම නිසා එම රෝහල්හි වෛද්‍ය කාර්යමණ්ඩලයද  අවධානමකට ලක් වී තිබෙනවා. සෞඛ්‍ය සේවකයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලැබුවහොත් සෞඛ්‍ය සේවා පද්ධතියම අක්‍රීය වනු ඇති අතර විශේෂඥ වෛද්‍යවරුන් විසින් සදහන් කරන ආකාරයේ රෝග ලක්ෂණ ඇති බවට සැකයක් තිබේනම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටීම මෙයට එක් හේතුවක්.

බුද්ධි අංශවලට එම ආසාදිත පුද්ගලයින් පහසුවෙන් හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. ආසාදිත පුද්ගලයින්ගේ සියලු තොරතුරු ඔවුන්ගෙන් අදාළ වෛරසය පැතිරීම අවම කිරීම සඳහා අදාළ බලධාරීන්ට ලබා දෙන අතර ආසාදිත පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අනෙක් අය නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු බුද්ධි අංශ මගින් සිදු කරමින් සිටිනවා.

ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්  වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක හමුදාවන් සහ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින්නන්  රජයේ සමස්ත යාන්ත්‍රනය ශක්තිමත් කරමින් ඔවුන්ගේ ජීවිත පරදුවට තබා මහජනතාවට සේවය කිරීම සඳහා කැපවී සිටිනවා.

මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී සෑම පුද්ගලයෙකුටම වගකීමක් හා යුතුකමක් තිබෙනවා. ඔවුන්ට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ තිබෙන බවට සැකයක් තිබේනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීමටත්, අධික ලෙස බෝවන වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිවසේ රැඳී සිටීමට බලධාරීන් විසින් ලබා දී ඇති ආරක්ෂක හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීමටත් කටයුතු කල යුතුව තිබෙනවා.

මුළුමනින්ම වසා දමා ඇති අටළුගම ගම්මානය තුළ පවා මිනිසුන් එක්රැස් වන බව මම දැක තිබෙනවා. ගම්මානයක් අගුලු දමා ඇති විට, එයින් අදහස් කරන්නේ මිනිසුන් සමඟ එකට එකතු වී නිදහසේ සැරිසැරීමට හැකි බව නොවන අතර එයින් අදහස් වන්නේ ගම්වැසියන්ට ලබා දී ඇති උපදෙස් වලට අනුව තම නිවෙස්වලට පමණක් සීමා වී සිටින ලෙසයි.

ප්‍ර. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ  රෝහලේ නිරෝධායන පහසුකම ප්‍රභූවරුන් සහ විදේශ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා යැයි සමහරු චෝදනා කළහ. එය ඇත්තක්ද?

පි. එම චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරනවා රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය පූර්ණ වශයෙන් කැපවී සිටින අතර මිනිසුන් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පතුරුවා හරින ආකාරය දැකීමෙන් මම ඉතා කණගාටුවට පත්වෙනවා.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ  රෝහල රටේ ඇති එකම විශ්ව විද්‍යාලයල  සතු  රෝහල වන අතර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මට දන්වා සිටියේ අවශ්‍ය නම් කොරෝනා  වෛරස් අසාදිත රෝගීන් සඳහා දැඩි සත්කාර ඇඳන් සහ අවශ්‍ය පහසුකම් ලබා දිය හැකි බවයි. රාජ්‍ය තාන්ත්‍රිකයින්ට අවශ්‍ය නම් විදේශ දූත මෙහෙවර සඳහා යම් පහසුකම් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. ඔවුන් ප්‍රභූවරුන් නොවන අතර ඔවුන්ගේ සමාජ තත්ත්වය සහ ජනවාර්ගිකත්වය නොතකා මෙම රෝහල සාමාන්‍ය ජනයා සඳහා ද විවෘතයි.

මෙම කොරෝනා වෛරසය පැතිරීමට පෙර රෝගීන් 800 කට අධික සංඛ්‍යාවක් කිසිදු භේදයකින් තොරව රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

ප්‍ර. දැඩි අනතුරු ඇඟවීම් තිබියදීත්, සමහර උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සහ පුද්ගලයින් සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පළ කරනවා .

පි. ඔව්, කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් මියගොස් ඇති බවත්, රජය එය වසන් කිරීමට උත්සාහ කරන බව කවුරුන්හෝ පළකර ඇති බව මම දුටුවා. ඒවා නම්, ඔවුන් සතුව ඇති සුළු දේශපාලන න්‍යායපත්‍ර,සතුරුකම නිසා හෝ පුරවැසියන් පීඩාවට පත්කර  විනෝද වීම සදහා ගන්නා උත්සාහයන්

ව්‍යාජ ප්‍රවෘත්ති හසුරුවන හා කටකතා පතුරවන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ වෙනත් ආයතනවලට අපි  උපදෙස් දී ඇති අතර සමහර පුද්ගලයින්  දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජය විසින් ගනු ලැබූ මනා සංවිධානාත්මක ක්‍රියාමාර්ග වෙනත් ජාතීන් විසින් අගය කරන අතර තවත් සමහර පුද්ගලයින් උත්සාහ කරන්නේ සොල්දාදුවන්, පොලිසිය , වෛද්‍යවරුන්  ,හෙදියන් සහ මෙම මාරාන්තික රෝගයට එරෙහිව ජනතාව වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා සටන් කරන සියලුම පාර්ශවකරුවන්ගේ කැපවීම අවතක්සේරු කිරීමයි.

නමුත් අපගේ බුද්ධි අංශ ඔවුන්ව හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත යොමු කරන හෙයින් ඔවුන්ට එයින් ගැලවීමට බැහැ. මෙම රෝගයට ජාති,ආගම,කලාපය, ජනවාර්ගිකත්වය, දුප්පත් හෝ පොහොසත් ලෙස කිසිදු වෙනසක් නැති නමුත් නමුත් එය ගෝලීය වශයෙන් සියලුම ප්‍රජාවන්ට බරපතල තර්ජනයක්. රට සහ අපේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය පසුබට නොවන අතර ව්‍යාජ කටකතා පතුරුවා හැරීමෙන් හා නොමඟ යවන තොරතුරු මගින් මෙම ක්‍රියාදාමය කඩාකප්පල් කරන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ප්‍ර. සංචාරක සීමාවන් සහ ඇඳිරි නීතිය ජනතාවගේ දෛනික ජීවිතයට බලපා ඇත. ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඇඳිරි නීතිය යටතේ ඔවුන්ට සහනයක් ලබා දීමට නව සැලැස්මක් තිබේද?

පි. ඔව්, මම එකඟයි මිනිසුන්ට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව. ඇඳිරි නීතිය පැනවීම දෙයාකාරයකින් කළ හැකිය - එකක් හදිසි නීතිය යටතේ ඇඳිරි නීතිය සහ අනෙක පොලිස් ඇඳිරි නීතිය. හදිසි නීතිය යටතේ ඇඳිරි නීතිය නියත වශයෙන්ම අගුලු දැමීමක් වන අතර, කිසිවෙකුට වීදිවලට පැමිණිය නොහැකියි එය ත්‍රස්තවාදී ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමකදී පනවනවා. පොලිස් ඇඳිරි නීතිය යටතේ මිනිසුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සහ බැංකු කටයුතු වලට සහභාගී වීමට හැකිව තිබෙනවා.

මුලදී, අපි මිනිසුන්ට දැඩි පීඩනයක් ඇති නොකිරීමට ලිහිල් ඇඳිරි නීතියක්  පැනෙව්වා. කෙසේ වෙතත් ඔවුන් එය සැහැල්ලුවෙන් ගෙන නිදහසේ ගමන් කල හෙයින්, කොරෝනා  වෛරස් පැතිරීම පාලනය කිරීම සඳහා ඔවුන්ගේ ගමන් බිමන්  සීමා කිරීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමට අපට සිදුවුනා. ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම නිසා අපි පුද්ගලයින් හා  ඔවුන්ගේ වාහන අත්අඩංගුවට ගැනීමටත්   පටන් ගත්තා.

සමහර දිනවල ඇඳිරි නීතිය අතරතුර දෙහිවල සහ පෑලියගොඩ ප්‍රදේශවල රථවාහන තදබදයක් ද මම දැක තිබෙනවා. මිනිසුන්ගේ හැසිරීම නිසා කොරෝනා  වෛරසය පැතිරීම පාලනය කිරීමට ඔවුන්ගේම යහපත සඳහා ඇඳිරි නීතිය පැනවීමට අපට සිදු වුනා. එසේ  කඩිනම් හා දැඩි වැළැක්වීමේ පියවර නොගෙන සිටියානම එය තවත් විපතකට හේතු වෙන්න තිබුනා.

අනෙකුත් බොහෝ රටවල මෙන් වේගයෙන් පැතිර යන වෛරසය පාලනය කිරීමට හමුදා  හා සෞඛ්‍ය සේවකයින් අරගල කරන විට, ඒවා ආරක්ෂා කිරීම සඳහා පනවා ඇති නීති හා රෙගුලාසිවලට අවනත වීමෙන් අපට සහාය දැක්වීමට මහජනතාවට විශාල වගකීමක් ඇතැයි අප සිතනවා. අපේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින අපේ හමුදාවන් අවතක්සේරු කල සමහර අයගේ වගකීම් විරහිත හැසිරීම දැකීම ඉතා අවාසනාවක්. මතක තබා ගන්න, ඔවුන් මේ රටේ ජනතාව වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබන බව.

වෛරසය පැතිරීමේ අවදානම අවම කර ගැනීම සඳහා සහ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුගමනය කරමින් හා  ‘නිවසේ රැඳී සිටිමින් සමාජ දුරස්ථභාවය අනුගමනය කරන්න’ යන ජනතාව සෞඛ්‍ය හා ආරක්ෂක උපදෙස් වලට අවනත වන්නේ නම්, පවතින ඇඳිරි නීතිය ලිහිල් කිරීමට අපට හැකි වෙනවා.

ප්‍ර. කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා රජයේ යාන්ත්‍රනවල  නිසි ක්‍රියාකාරිත්වය සහ ජනතාවගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද වැදගත් කමිටුවල ඔබද සාමාජිකයෙකි. එම කටයුතු වල ප්‍රගතිය කුමක්ද?

පි. කොරෝනා වෛරස් අසාදිත  රෝගීන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පසු රජය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පටන් ගත් නමුත් රජයේ යාන්ත්‍රනවල සුමටව පවත්වාගෙන යාම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීමට තවත් දින කිහිපයක් ගතවුනා.

මේ අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යටතේ ප්‍රජාව වෙත භාණ්ඩ ලබා දීම, අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා . මෙම යාන්ත්‍රණය පිළිබඳව සොයා බැලීම සඳහා රජයේ නිලධාරීන් 40 කට අධික සංඛ්‍යාවක්ගෙන් සමන්විත එම කමිටුවේ මම ද සිටිනවා . මගේ විෂය පථයට අයත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙම ක්‍රියාවලියෙහි ද සහයෝගයෙන් නියැලී සිටින අතර, සියළුම දිස්ත්‍රික්ක හා කොට්ඨාශවල රජයේ නියෝජිතයින්, සහකාර දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම සේවා නිලදාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා.

එම නිසා, මෙම සියලු අංශ ඒකාබද්ධ කිරීමෙන් පසු, මෙම සාමාජිකයින් 40 දෙනාම රජයේ ඉහළ නිලධාරීන් වන අතර ඔවුන්ට ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත දායක වීමට සමාන හැකියාවන් ඇති බැවින් අවශ්‍යතාවය සපුරාලීමට ජනාධිපති කාර්ය සාධක බලකායට විශාල ධාරිතාවක් ඇත. උදාහරණයක් ලෙස; මුදල් ,රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරුන්, , ත්‍රිවිධ හමුදාධිපතිවරුන්,  පොලිස්පති, කම්කරු දෙපාර්තමේන්තු කොමසාරිස් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති යන මහත්වරුන් ද මෙම කමිටුවේ සිටිනවා.මෙම යාන්ත්‍රණය ඉතා  හොඳින් ක්‍රියාත්මක වෙනවා.

ඇඳිරි නීතිය ලිහිල් කරන විට වෙනත් පුද්ගලයින් තම ඥාතීන් බැලීමට කලින් නියම කළ බෙහෙත් වට්ටෝරු අනිසි ලෙස භාවිතා කළ බවට අපට පැමිණිලි ලැබුනා. මෙම වෛරසය පැතිරීමේ හැකියාවක් ඇති බව අප දැක ඇති හෙයින්, ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත ළඟාවීමේ හැකියාව ඇති ජාතික  ඖෂධ  නියාමන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති රාජ්‍ය  සහ  පුද්ගලික අලෙවිසැල් හරහා  ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලියක් අපි සකස් කළෙමු.

කෙසේ වෙතත්, පද්ධතියේ යම් යම් අඩුපාඩුකම් ඇති බව පවසමින් අපට පැමිණිලි කිහිපයක් ලැබී ඇති අතර මිනිසුන්ට සහන සැලසීම සඳහා එම අඩුපාඩු නිවැරදි කිරීමට අපි ක්ෂණික පිළියම් යෙදුවා.