පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා වයඹ පළාතේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 2,289 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත

ජුනි 04, 2019

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය (අප්‍රේල් 21) සහ වයඹ පළාතේ හා තවත් ප්‍රදේශ කිහිපයක සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,289 කි. මේ අතර සිංහල ජාතිකයින් 330 ක් ද, දෙමල ජාතිකයින් 139 ක් ද මුස්ලිම් ජාතිකයින් 1820 ක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (ජූනි 03) සවස පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් 423 දෙනෙකු මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර තවත් සැකකරුවන් 211 දෙනෙකු වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවෙති. මෙම සැකකරුවන් 211 දෙනා අතුරින් 68 දෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේද 26 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය යටතේ ද අත්අඩංගුවේ පසුවෙති. සැකකරුවන් 1655 දෙනෙකුට අදාල මහේස්ත්‍රාත් අධිකරණ සහ පොලිස් ස්ථානවලින් ඇප ලබා දී තිබේ. මේ අතුරින් සැකකරුවන් 575 දෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද, සැකකරුවන් 213 දෙනෙකු හදිසි නීති රෙගුලාසි යටතේ ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර සිවිල් හා දේශපාලන අයිතීවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ සැකකරුවන් 72 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවද සාමාන්‍ය නීතිය යටතේ සැකකරුවන් 1429 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ගොතටුව පොලිස් වසමේ මුල්ලවත්ත පාරේ දී ඉරිදා (ජූනි 02) සවස පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මියගිය පුද්ගලයා 40 හැවිරිදි පත්තිනිගේ තුෂාරා වෛශාන්ත ලෙස හඳුනාගෙන ඇත. මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ආරවුලක් නිසා සිදුවූවක් බවට පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.