කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල වෙනත් රටවල හමුදාවන් යෙදවීමට අවශ්‍ය නැත - ආරක්ෂක ලේකම්

අප්‍රේල් 22, 2020

    • කොරෝනා වෛරස් තර්ජනය සාර්ථක ලෙස පාලනය කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්ට සහ පොලිසියට හැකිය

    • ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාව තුල යෙදවීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කිසිදු සංවාදයක් සිදු නොවූ බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වෙනත් රටවල හමුදාවන්ගේ  සඳහා ආධාර ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට හැකි බව දැනටමත් ඔවුන් ඔප්පු කර ඇති බව ඔහු පැවසීය.

“අපගේ ආරක්ෂක හමුදාවන් මේ වන විටත් කොරෝනා වෛරස් තර්ජනය නිසා ඇති වී තිබෙන හදිසි තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ විශේෂඥභාවය සහ වෘත්තීය නිපුණත්වය පෙන්නුම් කර තිබෙනවා.” ඔහු සදහන් කළේය.

අධික ලෙස බෝවන වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රටක් සිය බුද්ධි අංශ, ආරක්ෂක හමුදාවන් හා සෞඛ්‍ය බලධාරීන් ඵලදායි ලෙස යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව කොරෝනා වෛරසය  සමඟ සටන් කරමින් සිටින අනෙකුත් රටවලට ශ්‍රී ලංකාව ආදර්ශයක් සපයන බව ආරක්ෂක ලේකම් පැවසීය.

“කොරෝනා වෛරසය  ආසාදිත රෝගීන් සමඟ සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් සහ ඔවුන් සිටින ස්ථානයන් සොයා ගෙන දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමටත් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ යොදාගෙන තිබෙනවා.”ඔහු පැවසීය.

පැතිරී ඇති කොරෝනා වෛරසය  පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවේ යොදවනු ඇති බවට මෑතකදී පළ වූ පුවත පිලිබදව සඳහන් කළ ආරක්ෂක ලේකම් රටවල් දෙක අතර එවැනි සංවාදයක් සිදු නොවූ බව පැවසීය.