කොරෝනා ආසාදිත නැවියන් 30 දෙනෙකු සොයා ගැනීමෙන් පසු වැලිසර නාවික කඳවුර හුදකලා කරයි

අප්‍රේල් 23, 2020
  • නැවියන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව සොයා ගෙන ඇත

පළමු කොරෝනා වෛරසය ආසාදිත නැවිකයකු ඊයේ දින වාර්තා වීමෙන් පසුව නාවික හමුදා කඳවුරේ සිදුකරන ලද PCR පරීක්ෂණවලින් අනතුරුව නැවියන් 29 දෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වීමෙන් පසු වැලිසර ශ්‍රී ලංකා නාවික කඳවුර අද දින සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ.

නිවාඩු ලබා සිටි නැවියාට කොරෝනා වෛරසය ආසාදිත බව බව තහවුරු වූ පසු සෙසු අය වෙනුවෙන් අද සිදුකරන ලද PCR පරීක්ෂණවලින් පසුව එම නැවියන්ටද වෛරසය ආසාදිත බව සොයාගෙන ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

වෛරසය ආසාදිතවූ පළමු නාවිකයා, සුදුවැල්ල ප්‍රදේශයේ  කොරෝනා වෛරසය ආසාදිතයකු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති ප්‍රදේශවාසීන් නිරෝධායනය ලක් කිරීම සදහා එම ප්‍රදේශයට ගොස් රාජකාරි කටයුතු සිදු කල අයෙකු බව ඔහු පැවසීය.

වැලිසර නාවික කඳවුරේ භට නිවාසවල සිටින සියලුම නැවියන් මේ වන විට නිරෝධායනය යටතේ සිටින අතර, නැවත  දැනුම් දෙන තුරු කඳවුර හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

නාවික හමුදා කඳවුරේ සිටින සියලුම නැවියන්, නිවාඩු මත සහ ආසාදිත නැවියන් සමඟ සම්බන්ධතා පැවැත්වූ අය නැවත ගෙන්වා PCR පරීක්ෂණයට භාජනය කරන බවත් ලුතිනන් ජෙනරාල් සිල්වා පැවසීය.