යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල නැගෙනහිර පළාතේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

ජනවාරී 23, 2019

නැගෙනහිර පළාතේ යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් ප්‍රමාණයක් පසුගිය සිකුරාදා (ජනවාරි 18) දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී නිදහස් කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ඒ අනුව, නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලෙකාඩු ප්‍රදේශයේ ඉඩම් අක්කර 39.75 කට අයත් නිල ලේඛණ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින්, නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා, නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඩී. එම්. සරත් අබේගුණවර්ධන මහතා සහ දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

මේ වන විට උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කල විශාල ඉඩම් ප්‍රමාණයක් යුද හමුදාව විසින් මුදාහැර තිබේ. ඒ අනුව පසුගිය සඳුදා ද (ජනවාරි 21) මුලතිව්, කිලිනොච්චිය, යාපනය සහ වන්නි දිස්ත්‍රික්කයන් හි යුද්ධ හමුදාව භාවිතා කල උදයන්කට්ටු ගොවිපල සහ තවත් ගොවිපලවල් තුනක් ඇතුළු රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් මුලතිව් මුල්ලියාවේලි හිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවතී උත්සවයකදී නිදහස් කරන ලදී.