ජපන් රජය කොරෝනා වෛරසය එරෙහි සටනේ කිරීමේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි කාර්යභාරය අගය කරයි

අප්‍රේල් 24, 2020

රට තුල කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට සහාය දක්වමින් ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය විසින් සිදුකරන කාර්යභාරය ජපාන රජය විසින් පැසසුමට ලක් කර තිබේ.

“කොරෝනා වෛරසයට පැතිරීම පාලනය කිරීමට ඔබ ගත් උත්සාහයන් අපි අගය කරනවා” යැයි ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී ටොෂිෂිරෝ කිටමුරා (Toshishiro Kitamura) අද (අප්‍රේල් 24) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවූ අවස්ථාවේදී පැවසීය.

මේ වන විට ජපානයේ මරණ සංඛ්‍යාව 360 ක්, රජය ‘නිවසේ රැඳී සිටින ලෙස’ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා නැති බවද ඔහු පැවසීය.

රටේ කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් වන වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ රජය විසින් ‘රූට් බෝල්ට්’ ක්‍රමය ක්‍රියාත්මක කරන අතර එමඟින් අදාළ ප්‍රදේශවල සිටින කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සමග සම්බන්ධතා පවත්වා ඇති සියළු පුද්ගලයින් එම ප්‍රදේශවලින් ඉවත් කරන බවයි.

ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ කාර්ය  සෞඛ්‍ය බලධාරීන්ට  පමණක් පවරා තිබුනේ නම් එය පාලනය කළ නොහැකි මට්ටමක් දක්වා ගමන් කිරීමට ඉඩ තිබු බවයි.
 
නැවියන් 30 දෙනෙකුට ඊයේ දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, වැලිසර නාවික කඳවුරේ අනෙකුත් නැවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ගන්නා ලද පියවරයන් පිලිබදවත් ඔහු සඳහන් කළේය.

නාවික හමුදා කඳවුරේ සිටින සෑම නාවිකයෙකුම  PCR  පරීක්ෂණය  සිදු කල බවත්, නිවාඩු මත සිටින නැවියන්ගේ PCR  පරීක්ෂණය සිදු කිරීම සදහා නැවත කඳවුරට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

“ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හැරුණු විට, කොරෝනා වෛරසය ආසදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති අයවළුන් සොයා ගෙන එම ප්‍රදේශ  වෛරසයෙන් තොර ප්‍රදේශ බවට පත් කිරීමට අපගේ බුද්ධි අංශ පුළුල් ලෙස යොදා ගන්නවා.” මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය

සෞඛ්‍ය බලධාරීන්ට සහයෝගය දක්වන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, ගමක් හෝ ප්‍රදේශයක් වසා දැමීමට පෙර පළමුව කොරෝනා ආසාදිත පුද්ගලයින්, ඔවුන් සමීප සම්බන්ධතා පැවැත්වූ අය, ඔවුන්ගේ හැසිරීම් රටාවන් පිලිබද තොරතුරු විශ්ලේෂණය කරයි.

“විශ්ලේෂණයට අනුව, කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා වසා දැමීම ප්‍රමාණවත් නොවන්නේ නම්, රජය එම ගම්මානයේ සිටින සියලු දෙනා නිරෝධායනය සඳහා යවනු ලබනවා,”  සහ  “පවුල් කිහිපයකට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම්, අප විසින් එම පවුල් පමණක් නිරෝධායනය යටතේ තබනවා.” ඔහු පැවසීය.

ආරක්ෂක ලේකම් සහ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී කිටමුරා දෙරට අතර  ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම, විශේෂයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නාවික හැකියාවන් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆකෞරා ගකු (Fakaura Gaku) ද මෙම හමුව සදහා සහභාගී විය.