දෛනික ජන ජීවිතය මැයි 11 දින සිට යථා තත්ත්වයට - රජය පවසයි

මැයි 02, 2020

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පවතින ඇඳිරි නීතිය එලෙසම තිබියදී, සිවිල් ජන ජීවිතය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කටයුතු මැයි 11 දින සිට නැවත ආරම්භ කරන බව රජය ඊයේ නිවේදනය කළේය.

සිවිල් ජන ජීවිතය  යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සහ මෙම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා සැපයීම ඇතුළුව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මැයි 11 දින සිට නැවත ආරම්භ කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල  නිවේදනයේ දැක්වේ.

ආයතන ප්‍රධානීන්ට තම ආයතනයන් පවත්වාගෙන යාමට අවශ්‍ය සේවකයින් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයට පවසයි. COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරනු ලබන මාර්ගෝපදේශයන් නිසි ලෙස  පිළිපැදීම පිලිබදව  ආයතන ප්‍රධානියා විසින් වගකිව යුතුය.

කාර්යාලයට පැමිණිය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමේ වගකීම සහ අවශ්‍ය සේවක  සංඛ්‍යාව තීරණය කිරීම දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානියා වෙත පැවරේ.

පෞද්ගලික අංශයේ ආයතන දිනපතා උදේ 10 ට රාජකාරි කටයුතු සඳහා විවෘත කරන ලෙස ඉල්ලා තිබේ. COVID-19 පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස අනවශ්‍ය ලෙස මාර්ගවලට පැමිණීම සහ විවිධ ස්ථානවල එක් රැස්වීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවලට සහ දුම්රිය මැදිරිවල ප්‍රවාහනය කළ හැක්කේ රැකියා සදහා යනඑන සේවකයින් සදහා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

“රැකියා සදහා වාර්තා කළ යුතු අය හැරුණු විට සිවිල් වැසියන්ට ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිටින ලෙස ඉල්ලා සිටී. මිනිසුන්ට තම නිවෙස්වලින් පිටව යාමට අවසර දී ඇත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණි. COVID-19 වැළැක්වීමේ උපදෙස්  සෑම අවස්ථාවකම දැඩි ලෙස අනුගමනය කළ යුතුය.පොලිසිය විසින්   නිකුත් කරනු ලබන ඇඳිරි නීති බලපත්‍රය වලංගු වන්නේ රියදුරු සහ මගීන් මුහුණු ආවරණ පැළද සිටින්නේ නම් පමණි” ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනයේ සදහන් කර ඇත.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දින දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.

මැයි 06 වන දින බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අළුයම 5.00 දක්වා පවතිනු ඇත.