COVID-19 මර්ධනය කිරීම සදහා සහාය වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නව නිපැයුම් හදුන්වා දෙයි

මැයි 07, 2020

ශ්‍රී ලංකාවේ COVID 19 ට එරෙහිව කටයුතු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය වීම සඳහා ඉවහල් වන ප්‍රතිඵලදායි නව නිපැයුම් කිහිපයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මැයි 06 දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කරන ලදි.   

රෝගියාගේ තත්වය නිශ්චය කිරීම සඳහා දුරස්ථව ක්‍රියාත්මක වන රොබෝවක් (remotely operated robotic platform), විෂබීජ නාශක කොරිඩෝවක් (disinfection corridor), විෂබීජ නාශක කුටියක් (disinfection chamber) සහ ජංගම විෂබීජ නාශක යන්ත්‍ර දෙකක් (mobile disinfection platform) ප්‍රදර්ශනය කරන ලද ප්‍රධාන නව නිපැයුම් අතර වේ.   

එම නව නිර්මාණ නැරඹූ ආරක්‍ෂක ලේකම්වරයා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ මෙම කාලීන උත්සාහයන් ඉතා අගය කළේය.   

මේ අතර, COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි අවදානම අවම කිරීම සඳහා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන තේජාන දෙව්මින විසින් නිපදවන ලද දුරස්ථව ක්‍රියාත්මක වන රොබෝවක් (remotely operated robotic platform) නැරඹූ ආරක්‍ෂක ලේකම්වරයා විසින් එම සිසුවාගේ නිර්මාණශිලිත්වය අගය කරමින් ඔහු වෙත ත්‍යාගයක් පිරිනැමීය.   

මීළඟ පරම්පරාවේ නව නිපැයුම් කරුවන්ගේ හැකියාවන් තම මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන පර්යේෂණ සඳහා යොදා ගැනීමට අවධානය යොමු කරන බව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල් පැවසීය.