ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 500,000 කට විශ්‍රාම වැටුප් ලබාගැනීමට හමුදා සහාය

මැයි 07, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා විශ්‍රාමිකයින්ට සිය විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා පහසුකම් සැලසීමේ වැඩ සටහනේ දී ඊයේ (මැයි 6) දින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 500,000 කට අධික සංඛ්‍යාවකට ඇඳිරි නීති කාලසීමාව තුල ඔවුන්ගේ දෙවන මාසය සඳහා වන මාසික විශ්‍රාම වැටුප බැංකුවලට පැමිණ ලබාගැනීමට සහාය වී තිබේ.

මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය මස කරන ලද යෝජනාවකට අනුව පවත්නා ඇඳිරි නීතිය හේතුවෙන් ප්‍රවාහනය පහසුකම් ලබාගැනීමට නොහැකි වූ අය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි දිවයින පුරා ස්ථානගතව සිටින හමුදා සාමාජිකයින් යොදවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල සහාය ලබාගෙන සෑම දිස්ත්‍රික්කයකම සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ වැටුප් ලබාගැනීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.