ශ්‍රී ලංකා වෙළාරක්‍ෂක බලකාය වෙත ඕස්ට්‍රේලියාවෙන් නව යාත්‍රා තුනක් ප්‍රදානය කෙරේ

ජනවාරී 26, 2019

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත යාත්‍රා ත්‍රිත්වයක් (03) ප්‍රධානය කිරීමේ උත්සවය අද (ජනවාරි 25) දින කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කරන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජේවර්ධන මහතා සහභාගි විය.

ඕස්ට්‍රේලියානු ගරු අග්‍රාමාත්‍ය මැල්කම් ට්‍රැන්බල් (Hon. Malcolm Trunbull) මැතිතුමන් 2017 වසරේදිවසරේ දී ශ්‍රී ලංකාවේ සිදුකරන ලද සංචාරයක් අතරතුර දී ලබාදෙන ලද පොරොන්දුවක් ඉටුකරමින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකාය වෙත මෙම යාත්‍රා තුන ලබාදෙන ලදී.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන් (HE Bryce Hutchesson) මහතා විසින් මෙම යාත්‍රා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

ඉන් අනතුරුව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිස මෙම යාත්‍රාවන්හි නිරීක්ෂණ සංචාරයක ද නිරත විය. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් තුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

මීටර් 6.6 ක දිගින් යුත් මෙම යාත්‍රා පැයට නාවික සතපුන් 34 ක වේගයකින් යාත්‍රා කල හැකි අතර නවීන රේඩාර් පද්ධතියකින් ද සමන්විත වේ.

මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ උපදේශිකා ටාරා කැවානා (Ms. Tara Cavanagh) මහත්මිය ද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකා ජේෂ්ඨ නිලධාරීන් ඇතුළු විශේෂ ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.