ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු වංචාවන්ගෙන් ආරක්‍ෂා වන්න - ආරක්‍ෂක අමාත්‍යාංශය

මැයි 11, 2020

ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු ක්‍රමයක් භාවිතා කරමින් සිදුවන වංචා සහ පුද්ගලයන්ට තර්ජනය කර කප්පම් ගැනීම් සිදුකිරීම පිළිබඳව දැනුවත්ව සිටින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.    

සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කප්පම් ගැනීම සඳහා ජංගම දුරකථන පදනම් කරගත් මුදල් හුවමාරු වංචාවක් මෙහෙයවන බව අනාවරණය වී තිබේ.   

මෙම තත්වය පිළිබඳව මෑතකදී පොලීසිය විසින් ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේදී පැවති රැස්වීමකදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ අවධානයට යොමු කරන ලදි.    

පොලිසිය පවසන පරිදි වංචාකාරයින් සමහර පුද්ගලයින් වෙත දුරකථන ඇමතුම් ලබාදී තර්ජනය කර ජංගම දුරකථන  මුදල් හුවමාරු පද්ධති භාවිතා කරමින් රු. 25,000 සහ රු. 50,000 ආදී වශයෙන් මුදල් ඉල්ලා ඇත.  

“ජංගම දුරකථන මුදල් හුවමාරු පද්ධති භාවිතයෙන් කප්පම් ගෙවීමට සමාන සිදුවීම් පිළිබඳව අපි විමර්ශනය කරමින් සිටින නමුත් මෙම වංචාවන් පිළිබඳව ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතුය” ආරක්‍ෂක ලේකම් පැවසීය.   

වංචාකරුවන් විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ වලින් ඔවුන්ගේ නම් ඉවත් කරදීම සඳහා ජංගම දුරකථන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රමයක් භාවිතා කරමින් රු. 25,000 ක මුදලක් ලබාදෙන ලෙස සමහර පුද්ගලයින්ගෙන් ඉල්ලා ඇත.  

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගැනීම සඳහා බන්ධනාගාර සිරකුටිවල සිටින සිරකරුවන් විසින් පොලීසිය ලෙස පෙනී සිටිමින් ජංගම දුරකථන මුදල් හුවමාරු ක්‍රමයක් හරහා ක්‍රියාත්මක කරනු ලබන මෙවැනි වංචාවන් පිළිබඳව විමර්ශනය කරන ලෙස මේජර් ජෙනරාල් ගුණරත්න පොලීසියට උපදෙස් දී තිබේ.   

එවැනි වංචාකරුවන්ගෙන් ඔබ වෙත දුරකථන ඇමතුම් ලැබී ඇත්නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස හෝ 119 අමතන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.   මෙම වංචාවන්ට ඍජුවම හෝ වක්‍රව සම්බන්ධකම් ඇති අයට එරෙහිව අමාත්‍යාංශය විසින් දැඩි නීතිමය පියවර ගන්නා බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

 

Alternative text - include a link to the PDF!