මේජර් ජෙනරාල් මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශ නව ලේකම් ලෙස පත් කෙරේ

මැයි 12, 2020

විකිරණවේදී විශේෂඥයෙකු ලෙස කටයුතු කරන යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර තිබේ.

මේජර් ජෙනරාල් මුණසිංහ යුද හමුදා වෛද්‍ය බලකායේ හිටපු බලකාධිපති වන අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ආදි ශිෂ්‍යයෙකි.

1986 වර්ෂයේදී  දී MBBS උපාධිය සම්පූර්ණ කළ ඔහු එම වසරේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණි.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් සිය මූලික හමුදා පුහුණුව හදාරා අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතාන්වරයෙකු ලෙස අධිකාරියට පත් කරන ලදී.

මේජර් ජෙනරාල් මුණසිංහ 2010 වර්ෂයේදී යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති ලෙසත් 2014 වර්ෂයේදී පළමු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසත් පත් කරන ලදී.

ඔහු ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති ලෙසද සේවය කළේය.