ඒකාබද්ධ සාගරික ආවේක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් ඇරඹේ

ජනවාරී 28, 2019

ජපාන ස්වයං ආරක්‍ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ඉරිදා (ජනවාරි 27) දින හික්කඩුවට බටහිරින් වු මුහුදේ දී ඒකාබද්ධ සාගරික ආවේක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් ආරම්භ කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මෙම අභ්‍යාසය සඳහා P-C3 වර්ගයේ සමුද්‍රීය නිරීක්‍ෂණ ගුවන් යානා 02 ක්, නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා 02 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ y-12 වර්ගයේ යානාවක් ද එක්විය. තවද මෙම ඒකාබද්ධ පුහුණු අභ්‍යසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරික ආවේක්‍ෂණ අභ්‍යාස සම්බන්ධ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

මීට පෙරද ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදේශීය නාවික හමුදා සාමාජිකයින් සමග මුහුදේ දී අනතුරටපත් පුද්ගලයින් සෙවීමේ සහ මුදවා ගැනීම ඇතුළු පුහුණු අභ්‍යස කිහිපයක් සිදුකර ඇත. තවද, මෙවැනි අභ්‍යාසයන් තුළින් කලාපයේ අනෙකුත් හමුදාවන් සමග සිය වෘත්තීමය නිපුණතාවය සහ සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් සැලසේ.