CONEX 19 සාර්ථකව නිමාවට පත්වෙයි

ජනවාරී 30, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) ඊයේ (ජනවාරි 29) සාර්ථකව නිමාවට පත්වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නවීනතම ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන ‘සිදුරල’ නෞකාව තුල පසුගිය සෙනසුරාදා (ජනවාරි 26) මෙම අභ්‍යාසයෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි.

පුරා දින 4 ක් පැවති මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත සහ රත්නදීප යන නෞකාවන් 7 ක් ද, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් ද සහභාගී විය. ඊට අමතරව කොළඹට ඔබ්බෙන් ඇති මුහුදු තිරයේ පවතී මෙම අභ්‍යාසය සඳහා නාවික හමුදා ‍වේග ප්‍රහාරක යාත්‍රා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ද එක්වන ලදී.

මෙහිදී මුහුදු බෝම්බ තැන්පත් කර ඇති අවස්ථාවක ජලයේ නිරුපද්‍රිතව යාත්‍රා කිරීම, මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, මුහුදේදී රාත්‍රී වෙඩි පුහුණුව, මුහුදේදී පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරුව, අනතුරටපත් නෞකාවක් ඇදගෙන යාම සහ සංඥා හුවමාරු ක්‍රම ආදී වූ අභ්‍යාසයන් මෙම දින හතර පුරා සිදු කරන ලදී. තවද විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් උපයෝගි කර ගනිමින් නෞකාවක් තුලින් රෝගියෙකු නිරුපද්‍රිතව ලබා ගැනීමේ අභ්‍යාසය එහිදී සිදු කරන ලදී.

මෙවැනි සුවිශේෂි ඒකාබද්ධ අභ්‍යාසයන් සිදු කිරීම තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, අනාගතයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්‍ෂාව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධව මෙහෙයුම් සිදු කිරීමට මෙමඟින් මහත් පිටිවහලක් සැළසෙනු ඇත.