එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ නිල උසස් කෙරේ

ජනවාරී 31, 2019

පසුගිය 25 වනදා මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනා ඊළඟ නිලයට උසස් කරන ලදී. ඒ අනුව 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව රාජකාරි කල කපිතන් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ 1 වන ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි කල කෝප්‍රල් එස්.එස්. විජේකුමාර පිලිවෙලින් මේජර් සහ සැරයන් නිලයන් සඳහා උසස් කර ඇත.

මේ අතර මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහයන් ලබන සෙනසුරාදා (පෙබරවාරි 02) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන ඒමට නියමිතය. මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නිරත වී සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් රැගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී ඉකුත් සිකුරාදා (ජනවාරි 25) දින අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී සාමසාධක රාජකාරීන්හි නිරත මෙම හමුදා සාමාජිකයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්විය.