ජනාධිපතිතුමන්ගේ රණවිරු සුබසාධන වැඩසටහන් පිළිබඳ රණවිරු සංගම් දැනුවත් කිරීමේ හමුවක්

මැයි 30, 2019

රණවිරුවන් හා රණවිරු පවුල්වල සුභසාධන කටයුතු පිළිබඳව දැනුවත් කිරීම හා සොයා බැලීම සඳහා අද (මැයි 29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ දී විශේෂ රණවිරු හමුවක් සංවිධානය කර තිබුණි. මෙම හමුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, ජේ.ජේ. රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ආරක්‍ෂක අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සනත් වීරසූරිය මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය සහ තුවාල ලබා ආබාධිතව ත්‍රිවිධ හමුදා සේවයෙන් වෛද්‍ය හේතුන් මත ඉවත්ව යන රණවිරුවන් සඳහා රණවිරුවන්ගේ වයස අවුරුදු 55 සම්පුර්ණ වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, මියගිය රණවිරුවාගේ යැපෙන්නන් ජීවත්ව සිටින තෙක් සහ ආබාධිත රණවිරුවා ජීවත්ව සිටින තෙක් ලබාදීමට අතිගරු ජනාධිපතිතුමන් විසින් ගෙන ඇති තීරණය රණවිරු සංසද සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්විණි. මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් සහ ආබාධිත රණවිරුවන් මුහුණදෙන ගැටළු සහ ඔවුන්ගේ සුභසාධන අවශ්‍යතා සඳහා විසඳුම් ලබාදීමට ද මෙම හමුව යොදාගන්නා ලදී. මියගිය රණවිරුවන්ගේ සහ ආබාධිත රණවිරුවන්ගේ සංගම් වල නියෝජිතයින් සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට මෙහිදී හැකිවිය.

අතිගරු ජනාධිපතිතුමන් විසින් රණවිරු සුභසාධනය සඳහා වර්තමානයේ ගෙන ඇති පියවරයන් පිළිබඳව රණවිරු සංගම් දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් ද, ත්‍රිවිධ හමුදාවේ සුබසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එමගින් ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වර්තමානයේ මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදීමද කඩිනම් කරන ලදී.