චීනය අධ්‍යාපන අමාත්‍යංශයට මුහුණු ආවරණ 125,000 ක් පරිත්‍යාග කරයි

මැයි 28, 2020

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත පාසල් නැවත විවෘත කළ පසු මෙරට අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් දරුවන්ගේ භාවිතය සදහා  චීන තානාපති කාර්යාලය විසින් මුහුණු ආවරණ 125,000 ක් අධ්‍යාපන අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei)  විසින් පාසල් නැවත විවෘත කල  විට හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම මුහුණු ආවරණ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා වෙත භාර දෙන ලදී.

COVID-19 වසංගතයට එරෙහි සටනේදී චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය ලබා දී ඇති අතර පාසල් නැවත විවෘත කිරීම ඇතුළුව ජන ජීවිතයේ සෑම අංශයක්ම  යථා තත්ත්වයට පත්කිරීම සඳහා දෙරටටම නව අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බව වැඩ බලන චීන තානාපතිවරයා පැවසීය.

“තරුණ සිසුන් අපගේ  රටවල සහ ජාතියේ අනාගතයයි. චීන තානාපති කාර්යාලය, මෙම පරිත්‍යාගය මගින් ශ්‍රී ලංකා සිසුන්ගේ ආරක්ෂාව වඩා හොඳින් සහතික කිරීමටත්, දිස්ත්‍රික්ක 25 ම පාසල් සිසුන් පාසල් වලට ආපසු පැමිණි පසු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ බිය සමනය කිරීමටත් අවංකව මෙම පියවර ගත්තේය” ඔහු පැවසීය. චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින්නේ වෛරසයට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීමට සහ ආර්ථිකය පුනර්ජීවනය ඇති කිරීමට සහයෝගය දැක්වීම සදහා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා මෙම කාලෝචිත පරිත්‍යාගය බෙහෙවින් අගය කළ අතරම මාස ගණනාවකට පසු නැවත පාසැල් වෙත යන සිසුන් ආරක්ෂා කිරීම සදහා මෙම පරිත්‍යාගය ඉතා ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.

COVID-19 වසංගතය ආරම්භයේ සිටම චීනයේ මධ්‍යම හා පළාත් පාලන ආයතන,වෙනත් ව්‍යාපාරික ආයතන  සහ පුද්ගලයින් විසින් පරිත්‍යාග කරන ලද අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතින බව ඔහු මාධ්‍යයට පැවසීය.

“පරික්ෂණ කට්ටල 70,000 දහසකට වඩා වැඩි ප්‍රමාණයක් සහ මුහුණු ආවරණ  මිලියන ගණනක් ඇතුළුව පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය සැපයුම් විශාල වශයෙන් දිවයිනේ වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා දායක වී තිබේ. චීනය විසින් දක්වන ලද  මෙම විශාල සහයෝගය ශ්‍රී ලංකා ජනතාව සැමවිටම සිහිපත් කරනු ඇත,” ඔහු පැවසීය.