සීෂෙල්ස් හි සිටින ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පියවර

මැයි 28, 2020

සීෂෙල්ස් හි වෙසෙන සහ සේවය කරන මෙරටට නැවත පැමිණීම සදහා ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයින් දැනට පවත්නා රෙගුලාසි වලට අනුකූලව සහ පවතින නිරෝධායන පහසුකම්වලට  අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින අතරම සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සහාය ලබා දීම සඳහා දූත මණ්ඩලයේ නායකත්වය යටතේ, ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය, සීෂෙල්ස් බෞද්ධ සංගමය සහ ලක්ස්ටර් ක්‍රිකට් කමිටුව ඇතුළත්ව ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම දූත මණ්ඩලය ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඉල්ලීම මත ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍යය ද බෙදා දී තිබෙන අතර ශ්‍රී ලාංකිකයන්ට නිරන්තරයෙන්ම දූත මණ්ඩලය හා සම්බන්ධ විය හැකි පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවයක් ද ස්ථාපනය කොට තිබේ.

රැකියා අහිමි වීම, රැකියා කොන්ත්‍රාත්තු අවසන් වීම සහ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වීම යන හේතූන් මත  ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව දන්වා ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන සිටින මෙම දූත මණ්ඩලයේ ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන් රැසක් සමඟ දූත මණ්ඩල දිගින් දිගටම සන්නිවේදන කටයුතු සිදු කර තිබේ. ඔවුහු බොහොමයක් දැනට සීෂෙල්ස්හි දූපත් පහක විසිරී සිටිති.

සීෂෙල්ස්හි, 2020 මැයි 11 දින වන විට  COVID-19 එක් ආසාධිතයෙක් පමණක් සිටි අතර 2020 අප්‍රේල් 06 දින 11 වැනි ආසාධිතයා සොයා  ගැනීමෙන් පසුව COVID-19 කිසිදු ආසාධිතයෙකු එරටින් වාර්තා වී නොමැත.