සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව

මැයි 30, 2020

•   රටවල් 123 ක සිටින ශ්‍රී ලාංකිකයින්  42,522 ක් නැවත මෙරටට පැමිණීමේ අපේක්‍ෂාවෙන්

මැදපෙරදිග මෙන්ම වෙනත් කලාපවලින් සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිකුරාදා (මැයි 29) සහතික කර තිබේ.   

මැදපෙරදිග මෙන්ම වෙනත් කලාපවල සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම, මෙම ප්‍රජාවන් අවදානමට ලක්වීමේ හැකියාව පිළිබඳව විමසා, විශේෂයෙන් සත්කාරක රටවල නීත්‍යානුකූලව රැඳී සිටීමේ  අවස්ථාව සහ / හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමි වූ තැනැත්තන් පිළිබඳව සලකා, අඛණ්ඩව සිදුකරන බවට අමාත්‍යවරයා පැවසීය.  

මෑතකදී කුවේට් රාජ්‍යයේ සිට නැවත මෙරටට පැමිණි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ, සෞඛ්‍ය ක්‍ෂ්ත්‍රය සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත මේ වන විට එල්ල වී තිබෙන පීඩනය පිළිබඳව සැලකිල්ලට ගනිමින්, කොවිඩ් කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර මෙම කාර්යය සිදුකෙරේ.

අනාගතයේදී, සියලුම ගුවන් ගමන් වලට පෙර පීසීආර් (PCR) පරීක්‍ෂණ සිදුකිරීමේ හැකියාව විමර්ශනය කරන බව මෙහිදී සඳහන් කෙරිණි.

මැයි 27 වන විට නිකුත් කළ නවතම යාවත්කාලීන තොරතුරු වලට අනුව රටවල් 123 කින් පුද්ගලයන් 42,522 ක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්‍ෂා කරන බව සඳහන් කෙරිණි. මෙම සංඛ්‍යාවට සංක්‍රමණික ශ්‍රමිකයින්  34,881 ක් ඇතුළත් වන අතර ඔවුන්ගෙන් 20,893 ක් මැද පෙරදිග ජීවත් වන අතර 4,961 ක් කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් වන අතර සිසුන් 2,016 ක් ද ඒ අතර වේ.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත සහ අමාත්‍යාංශ දෙකෙහි හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදාළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විදේශ අමාත්‍යංශයේදී පැවති රැස්වීමකදී අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශයන් සිදුකරන ලදි.