ISIS ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ඉන්දියාවට පලා යාම පිලිබඳ පුවත තවමත් තහවුරු වී නැත

මැයි 27, 2019

ISIS ත්‍රස්තවාදීන් 15 දෙනෙකු රැගත් බෝට්ටුවක් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ලක්ශාදීප් දිවයින වෙත පලාගිය බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා පළකර තිබුනත්, අදාළ තොරතුර පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනතෙක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවත්, ඒ කෙසේ වුවද අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සේවයේ නියුතු නැව්,යාත්‍රා සහ බෝට්ටු මෙන්ම නාවික හමුදා අනුකාණ්ඩ ද සෝදිසියෙන් සිටින ලෙස දැනුවත් කර ඇති බවත් යම් තොරතුරක් හෝ සැකකටයුතු යමක් හමුවුවහොත් ඒ පිළිබඳව නාවික හමුදාව තදින් ක්‍රියාත්මක වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ඊයේ (මැයි 26) සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කුරුණෑගල පොලීසිය විසින් සිය වත්කම් පිලිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු වන සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අය වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර ඔහු සිදුකරන ලද සිසේරියන් සැත්කම් වලදී තමන්ව අනවසරයෙන් වඳ භාවයට පත්කිරීම පිළිබඳව යම් පැමිණිල්ලක් කිරීමට ඇත්නම් ඒ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (මැයි 26) සවස පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ට එරෙහිව ලැබී ඇති පැමිණිලි දෙකක් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.