සයිබර් ප්‍රහාර උත්සාහයේදී දත්ත සොරාගැනීමක් සිදුවී නොමැත - ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

මැයි 31, 2020

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය| සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (SLCERT|CC) විසින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි දෙකක් සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් අක්‍රීය කර ඇති බවට තහවුරු කර ගෙන ඇත.

මෙම ක්‍රියාකාරීන්ගේ අවසාන පරමාර්ථය වන්නේ විවිධ වූ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගැනීම සහ මතවාදයන් පැතිරවීම බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය | සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් පැවසීය.

“මෙම සයිබර් ප්‍රහාරකයන් හට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබානොදීම මෙහිදී වැදගත් කොට සැලකිය යුතුය. මීට පෙරද මෙවැනිම ආකාරයේ ප්‍රහාර ගණනාවක් ශ්‍රී ලංකාව අත්විඳ ඇති අතර මෙවැනි ප්‍රහාරයන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය| සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්ය සාධක බලකායක් සහ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇත.” ඔහු පැවසීය.  

මෙම කණ්ඩායම අන්තර්ජාල සේවා සපයන්නන් ඇතුළුව රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන අන්තර්ජාලය හා සම්බන්ධ පාර්ශවකරුවන්ගෙන් සමන්විත වේ.   

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය | සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (SLCERT | CC ) යනු ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ජාතික පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයයි.  

ශ්‍රී ලංකාවේ තොරතුරු හා තොරතුරු පද්ධති යටිතල පහසුකම් ආරක්‍ෂා කිරීම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙහි මූලික කාර්යභාරය වේ.   

මෙහිදී සිදුව තිබෙන්නේ වෙබ් අඩවියක් ‘විකෘති කිරීම’ එනම් ප්‍රහාරකයා විසින් වෙබ් පිටුවෙහි හෝ වෙබ් අඩවියේ දෘශ්‍ය පෙනුම වෙනස් කිරීම බව ඩයස් පැවසීය. වෙබ් අඩවි අපකීර්තියට පත්කිරීමේ මෙම උත්සාහයේදී දත්ත සොරාගැනීමක් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.  

“ප්‍රහාරකයන් විසින් සිදුකර තිබු විකෘති කිරීම් හදුනාගෙන අවස්ථානුකූලව කටයුතු කිරීමට කාර්ය සාධක බලකා කණ්ඩායමට හැකිව තිබේ. මෙම සිදුවීම පෙරවරු 6.38 ට අනාවරණය වී ඇති අතර පෙරවරු 7.30 වන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවන් විසින් වෙබ් අඩවි යථා තත්වයට පත්කිරීමට කටයුතු කර ඇත” ඔහු සඳහන් කළේය.