බන්ධනාගාර තුළින් සිදුවන බරපතල අපරාධ සහ මත්ද්‍රව්‍ය මාෆියාව නැවැත්විය යුතුයි - ජනාධිපති

ජුනි 01, 2020

බන්ධනාගාර ගතව සිටින  පාතාල අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය මාෆියාව ඇතුළු සියලුම අපරාධ කටයුතු වහාම නතර කළ යුතු බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අවධාරණය කළේය.

බන්ධනාගාර සිර මැදිරිවල සිට  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ගනුදෙනු සහ වෙනත් බරපතල අපරාධ සිදුකරන අපරාධකරුවන් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව ඔහු පැවසීය.

අද (01) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී බන්ධනාගාර නිලධාරීන් සමඟ බන්ධනාගාරවල වර්තමාන තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී ජනාධිපති රාජපක්ෂ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.

බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

"බන්ධනාගාරය හෝ පොලිසිය පිරිහී ගියහොත් එය රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බලපානු ඇත. කිසියම් නිලධාරියෙකු සිය රාජකාරිය ඍජුව හා අවංකව ඉටු කරන්නේ නම්, ඔහුගේ දේශපාලන සම්බන්ධතාවය නොසලකා එය අගය කිරීමට මම කිසි විටෙකත් පසුබට නොවෙමි" යනුවෙන් ඔහු පැවසීය.

ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සහ පොලිස්පතිවරයාගෙන් සමන්විත කමිටුවක් විසින්  බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා නිවැරදි කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

නිලධාරීන් පුහුණු කිරීම සහ පෙළඹවීම ඇතුළු සියලු කටයුතු අධීක්ෂණ මණ්ඩලයකට යොමු කිරීමට උපදෙස් ලබා දෙන ලදී.

"දූෂිත හා අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි" ඔහු පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවත්නා අඩුපාඩුකම් ඉවත් කර පද්ධතිය මුළුමනින්ම වෙනස් කරන බව ජනාධිපති රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සහ පොලිස්පතිවරයාගෙන් සමන්විත කමිටුවක් හරහා ක්‍රියාත්මක කෙරේ.

අධීක්ෂණ කණ්ඩායමක් යටතේ නිලධාරීන් පුහුණු කිරීම සහ දිරි දීමනා ලබා දීම ඇතුළු සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ්, ත්‍රිවිධ හමුදාපතිවරුන්  , පොලිස්පති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේ සාකච්ඡාව සදහා සහභාගී වුහ.