ජනපති අත්සන වංචනික ලෙස භාවිතා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි

ජුනි 04, 2020

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ අත්සන සහ ලිපිශීර්ෂ වංචනික ලෙස භාවිත කළ අයෙකු අද (04) දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා කොළඹ ලංකා බැංකු මූලස්ථානයේ කළමනාකරු විසින් සිදුකල පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ අත්සනින් මැයි 28 වන දින Aලංකා බැංකුවේ සේවය අත්හිටවූ සේවකයෙකු නැවත සේවයේ පිහිටුවීම’ යන මාතෘකාව යටතේ ලංකා බැංකු සභාපති වෙත සැක සහිත ලිපියක් ලැබීමෙන් පසු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

සැකකරු  ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමෙන් පසුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. තවද, සැකකරු සතුව තිබු ලිපි ලේඛන සකස් කිරිමට යොදාගත් ලැප්ටොප් පරිගණකය සහ පෙන් ඩ්‍රයිව් (pen-drive)එකක් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් අධිකාරී සේනාරත්න පැවසීය.