සෑම කෙනෙකුම නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා සහතික වේ

ජුනි 04, 2020
  • වෛද්‍ය  රසායනාගාර බණ්ඩාරනායක ජාත්‍යන්තර තොටුපල හි ස්ථාපිත කිරීමට නියමිතය.
  • අදාළ රටවල දී PCR පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව සොයා බැලීම.
  • PCR පරීක්ෂණය අවසන් වූ පසු නැවත පැමිණෙන අය දින 14 ක නිරෝධායනය වෙත යොමු කිරීම.

ශ්‍රී ලංකාවට ආපසු ඒමට අපේක්ෂා කරන සැමට ඒ සඳහා පහසුකම් ලබාදෙන බවට සහතික කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ ගුවන්තොටුපලේ PCR පරීක්ෂණ අවසන් කිරීමෙන් පසු දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නැවත පැමිණෙන අය යොමු කරන ලෙසයි .

නැවත පැමිණෙන සියලු දෙනාට හුදකලා ස්ථානයක නවාතැන් දෙන ලෙසත්, පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වන තෙක් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා ගුවන් තොටුපල බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති රාජපක්ෂ මෙම මාර්ගෝපදේශ නිකුත් කළේ මැද පෙරදිග සිට PCR පරීක්ෂාව හා කොරෝනා වෛරස් ආසාදිතයින් නැවත පැමිණීම සම්බන්ධ ගැටළු ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ අද (ජූනි 4) දින සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.

වෛරසය යම් කාලයක් සඳහා පවතිනු ඇතැයි සෞඛ්‍ය බලධාරීන්ගේ අනාවැකි සහ ගුවන් තොටුපලේ පරීක්ෂණ පහසුකම් පිළිබඳව අවධාරණය කළ ජනාධිපතිවරයා කියා සිටියේ PCR පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ගුවන්තොටුපලේ රසායනාගාරයක් පිහිටුවීමට තීරණය කර ඇති බවයි.

රජයේ මැදිහත්වීමකින් හෝ අදාළ රජයන්ගේ සහාය ඇතිව විදේශයන්හි PCR පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

"කොරෝනා වෛරස ආසාදිත බව කල්තියා හඳුනාගැනීම මගින් ඔවුන් ඉක්මනින් රෝහල් සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට උපකාරී වනු ඇතැයි" ඔහු අවධාරණය  කලේය.

ඇමතිනී පවිත්‍රා වන්නිරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් දි එයාෆෝස් රෝෂාන් ගුණතිලක, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සංජීව මුනසිංහ, ත්‍රිවිධ හමුදා අණදෙන නිලධාරීන්, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති කාර්ය සාධක සාමාජිකයින් සහ වෛද්‍ය වෘත්තිකයන් රැසක් මෙම රැස්වීමට සහභාගී වූහ.