ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍යත්‍රාන්තික කාර්ය මණ්ඩලයන් PCR පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරිපත් කළ යුතුය

ජුනි 05, 2020

ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයන් සහ ඔවුන්ගේ පවුල්වල  සාමාජිකයින් ඔවුන්ගේ රටවලින් පිටත්ව ඒමට පැය 72 කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතුය.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අද (ජූනි 5) නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින්  මෙය නියම කරන ලදී.
පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ගේ PCR පරීක්ෂණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  සිදුකරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

රට තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා බ්‍රහස්පතින්දා (04)පුර්ව උපදෙස් සංශෝධනය කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගත්තේය.

ඒ අනුව, එම උපදෙස් රාජ්‍ය තාන්ත්‍රික නාලිකා හරහා කොළඹ පිහිටි සියලු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විශේෂිත නියෝජිත ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ ගරු කොන්සල් ජනරාල් කාර්යාල වෙත දැනුම් දීමට විදේශ සබ‍ඳතා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ
 

සංශෝධිත උපදෙස් පහත පරිදි වේ

-  අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම පිණිස, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට/නැවත පිටවීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු, අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට වාචික සටහනක් (Note Verbal) මගින් කල්තබා දැනුම් දිය හැකිය.

–      එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වේ.

–      එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.

–      දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දූතමණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවයට හා අධීක්ෂණයට යටත්ව දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක (වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාස නොමැති නම්) නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය.

–      මෙම දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර, කොරෝනා වයිරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩලයෙහි සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කරන ලද දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

–      රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර, ඔවුන් පිටත් වීමට අවම වශයෙන් පැය 48 කට පෙර රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිත කාර්යාල මඟින් මෙම අමාත්‍යාංශයේ සංධාන ප්‍රධානී වෙත යැවිය යුතුය.