නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනනය එකඟ වේ

ජුනි 06, 2020

විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට අනුකූලව නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ.

තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න  2020 ජුනි මස 01 වන දින එරට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී ලෙබනන් කම්කරු අමාත්‍යවරිය වන ලැමියා යම්මින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

තවද, COVID-19 ව්‍යාප්තිය සහ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්, ලෙබනනයේ ආර්ථික අර්බුදය, ලේඛන රහිත ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා විරහිත බව, නොගෙවූ වැටුප් සහ සංක්‍රමණික සේවකයින්ගේ සෞඛ්‍ය ගැටලු යනාදී කරුණු එහිදී සාකච්ඡාවට භාජනය වී ඇත.

කම්කරු අමාත්‍යාංශයට අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ඔවුන් ආපසු පැමිණෙන්නේ නම් එක් පුද්ගලයෙකු සඳහා PCR පරීක්ෂණ ගාස්තු ලෙස ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් 100ක ගාස්තුව වෙනුවට ඇමරිකානු ඩොලර් 20 ක පමණ සුළු ගාස්තුවකට PCR පරීක්ෂණ සිදු කළ යුතුව තිබුණි.

කෙසේ වෙතත්, කැබිනට් තීරණ නිවේදනය කිරීමේදී ලෙබනන් රජය තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි PCR පරීක්ෂණය නොමිලේ සිදුකරන බව දැනුම් දී ඇත.

ලෙබනන් රජයේ මෙම තීරණය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට සැලකිය යුතු ආර්ථික වාසියක් හිමිව ඇත.