ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් බන්ධනාගාර වලින් අත් අඩංගුවට

ජුනි 09, 2020
  • මීගමුව, කොළඹ, බෝගම්බර සහ බුස්ස බන්ධනාගාර වලින් ජංගම දුරකථන 82 ක්, සිම් කාඩ්පත් 55 ක්, බැටරි සහ චාජර් අත්අඩංගුවට ගෙන තිබේ.    
  • බන්ධනාගාර සිරකුටිවල විශේෂ වැටලීම් සඳහා විශේෂ කාර්ය බලකා සහාය.  

අද (ජූනි 9) දින උදෑසන, මීගමුව, කොළඹ, බෝගම්බර සහ බුස්ස බන්ධනාගාරවල සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 82 ක්, සිම් කාඩ්පත් 55 ක්, බැටරි සහ චාජර් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

මීගමුව  බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් ජංගම දුරකථන 61 ක්, සිම් කාඩ්පත් 51 ක්, බැටරි 71 ක්, චාජර් 30 ක්, හෙරොයින් ග්‍රෑම් 16 ක් සහ ගංජා ග්‍රෑම් 2 ක්  බන්ධනාගාරයේ තිබී සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය defence.lk වෙත පැවසීය.   

“කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුරකථන දෙකක්, බෝගම්බර බන්ධනාගාරයෙන් ජංගම දුරකථන හතරක්, මැගසින් බන්ධනාගාරයෙන් දුරකථන දොළහක්, බූස්ස බන්ධනාගාරයෙන් එක් බැටරියක් සහ ජංගම දුරකථන තුනක්, සිම් කාඩ්පත් හතරක්, බැටරි හතරක් සහ එක් දුරකථන චාජරයක් ද බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා” ඔහු පැවසිය.  

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුම බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකරන ලදි.   

කොමසාරිස් ජෙනරාල් උපුල්දෙනිය පවසා  සිටියේ, සිරගතව සිටින ඇතැම් පාතාල අපරාධකරුවන් විසින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය මාෆියාව සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සහ වැටලීම් සිදුකරන බවයි.