එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් දිවයිනට

පෙබරවාරි 05, 2019

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ දේහයන් සඳුදා (පෙබරවාරි 04) දින දිවයිනට ගෙනෙන ලදී. මේජර් ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහයන් තැන්පත් කරන ලද දෙණ, හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයකින් ගෞරවාන්විතව භාරගන්නා ලදී. මෙම අවස්ථාවට ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද කටුනායක ගුවන්තොටුපළේ දී සහභාගී වන ලදී.

එක්සත් ජාතින්ගේ ධජයන්ගෙන් ආවරණය කරන ලද දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් තැන්පත් කරන ලද දෙණ, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) ඇතුළු පිරිස විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත නිල වශයෙන් භාරදෙන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා ජාතික ධජයෙන් එම දේහයන් තැන්පත් කරන ලද දෙණ,  ආවරණය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ ධජයන් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති වෙත භාරදීම සිදු කෙරිණි. පසුව මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව රෝහල වෙත රැගෙන යන ලදී.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවිපිදු මෙම රණවිරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු පුර්ණ හමුදා ගෞරව සහිතව ඔවුන්ගේ ගම්පියසවල් වන පොළොන්නරුව හා පොල්පිතිගම යන ප්‍රදේශ වලදී සිදුකිරීමට නියමිතය.

ගුවන් තොටුපලේ දී පැවැති දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් භාරගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ මියගිය රණවිරුවන් දෙදෙනාගේ පවුලේ ඥාතින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් ජනවාරි මස 25 වන දින කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්වී කපිතාන් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එස්. විජේකුමාර ජිවිතක්‍ෂයට පත් විය. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරන ලදී.