ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නැගෙනහිර පිහිටි සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කෙරේ - ආරක්‍ෂක ලේකම්

ජුනි 10, 2020

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ කාර්ය පැවරී ඇති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

‘නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය' පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ අද දින පැවැත්වූ අවස්ථාවේදී එහි සාමාජිකයින් අමතමින් කාර්ය සාධක බලකායේ සභාපති වන ආරක්‍ෂක ලේකම්, ජාතිය, ආගම සහ වෙනත් වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමයන් අනාගත පරපුර සඳහා ආරක්‍ෂා කරගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත සහාය දෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

“නැගෙනහිර පළාතේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් ඇති අතර විවිධ හේතු නිසා අද එම ස්ථාන තර්ජනයන්ට ලක්ව තිබෙනවා. මෙම ඓතිහාසික ස්ථාන ජාතික උරුමයන් වන බැවින් ආගම හෝ ජනවාර්ගික කණ්ඩායම පිළිබඳව නොසලකා ඒවා සංරක්‍ෂණය කර ප්‍රතිෂ්ඨාපනය කිරීමට රජයට අවශ්‍යයි,” ඔහු පැවසීය.

එම ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා නැගෙනහිර පළාතේ සියලුම ජනවාර්ගික කණ්ඩායම් සමඟ ජනාධිපති කාර්ය සාධක බලකාය සමීපව කටයුතු කරන බව ආරක්‍ෂක ලේකම් පැවසීය.

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් එහි කාර්යයන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කරුණු සාකච්ඡා කළහ. පැවති සාකච්ඡාවේදී, විවිධ ආයතන නියෝජනය කරන සාමාජිකයින්, ජනාධිපති කාර්ය සාධක බලකායේ කාර්යභාරය ඉදිරියට ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනා එකම ජාලයකට ගෙන එමින් දැනුම හා අන්‍යෝන්‍ය සහයෝගීතාව හුවමාරු කර ගැනීමට එකඟ වූහ.

සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම, පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම මගින් හඳුනාගත් ස්ථාන සහ පුරාවස්තු සංරක්‍ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම, එවැනි පුරාවිද්‍යාත්මක ස්ථාන සඳහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන ඒවා නිසි ලෙස හා නීත්‍යානුකූලව වෙන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම, පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානවල සංස්කෘතික වටිනාකම ආරක්‍ෂා කිරීම, දේශීය හා විදේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය ප්‍රවර්ධනය කිරීම සහ එවැනි උරුමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම යන කාර්යන් පැවරී ඇත.

මෙම රැස්වීමේදී ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජිකයින් අවධාරණය කළේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන පිළිබඳ තොරතුරු සහ එම ස්ථාන සංරක්‍ෂණය කිරීම සඳහා වැදගත් වන ප්‍රාදේශීය ප්‍රජාවේ සහාය ලබාගැනීමේ වැදගත්කමයි. නැගෙනහිර පළාත තුළ පවතින සම්පත් උපයෝගී කරගනිමින් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ පියවරක් ලෙස දැනටමත් හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක ස්ථානයන් හා උරුම සංරක්‍ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කිරීමට ඔවුහු එකඟ වූහ.

සංරක්‍ෂණ කටයුතු ප්‍රතිඵලදායි ලෙස හා විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි භූ-අවකාශීය දත්ත ඇතුළත් කරගනිමින් පුරාවිද්‍යාත්මක ස්ථානවල තොරතුරු ලබාගැනීමටද ඔවුන් විසින් එම අවස්ථාවේදී තීරණයක් ගන්නා ලදී.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් වන පුරාවිද්‍යා චක්‍රවර්ති පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, උතුර සහ නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පුජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමින්වහන්සේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත්, මැනුම්පති ඒඑල්එස්සී පෙරේරා, මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව, මහාචාර්ය කපිල ගුණවර්ධන, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් එච්ඊඑම්ඩබ්ලිව්ජී දිසානායක, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.